විල්පත්තු උතුරු අභය භූමිය එළි කර මහා පරිමාණ ජනාවාස පිහිටු වීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නතර කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ නැතහොත් ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තවම නොහැකි වී ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර කියයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එය නතර කළ ද අදාළ ක්‍රියාකාරිත්වය නතර කිරීමට නොහැකිවී ඇති බවටද ඔහු චෝදනා කර සිටී.
මෙම කලාපයේ මීට පෙර ගම්මාන තිබූ බව කියමින් ගෙන යන ප්‍රචාරය සාවද්‍ය බවත් පෙර සිතියම් සියල්ලෙහි තොරතුරු ගෙන බැලුවද එහි වන ගහණයක් මිස ජනාවාස නොතිබූ බව ඔහු සඳහන් කරයි. 2009 දී ඇරැඹුණු නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ මෙම වනාන්තර කැපීම ආරම්භ වූ බවත් මේවන විටත් අක්කර 3000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ කර ඇතැයි ද චාමිකර මහතා කීවේය. මෙම විනාශ කැරෙන භූමියේ දුර්ලභ විල්ලු පරිසර කලාපයක් ඇති බවත් එය ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් බවත් ඔවුහු පෙන්වා දෙති.
කොළඹ පදනම් ආයතනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පරිසර සංවිධාන ගණනාවක නියෝජිතයෝ මේ පිළිබඳ අදහස් දැක්වූහ.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත හතරක් පුරා මෙය පැතිර ඇතැයිද එම භාරය කියා සිටී. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් ජනාවාස පිහිටුවීම ආරම්භ කරනු ලැබුවේ 2010 වසරේ දී බවද ඔවුන් හෙළිකර සිටී.
අදාළ රක්ෂිත අයත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට බවත්, එම සමස්ථ වනාන්තර ප්‍රදේශය කල් ආරු වනාන්තරය ලෙස හැදින්වෙන බවද පැවසේ. ඊට හේතුව එම වනාන්තරය ප්‍රධාන වශයෙන් ම කල් ආරු ඔයේ ජල පෝෂක ප්‍රදේශ ලෙස පැවතීම බවද වාර්තා වේ.
මෙම වන රක්ෂිත අතුරින් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් මෙම වන රක්ෂිත පද්ධතියෙන් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති බවට එම භාරය චෝදනා කර සිටී.










