කැප්පෙටිපොල මහ දිසාව ඇතුළු ඌව වෙල්ලස්ස කැරැල්ලට සම්බන්ධවූවන් පිරිසක් රාජ්‍ය ද්‍රෝහීන් වෙනුවට ජාතික වීරයින් ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවට පුවත් පළවීමත් සමඟ සංස්කෘතික අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් ජවිපෙ විජිත හේරත් මන්ත‍්‍රීවරයාට සහ සමන්ත විද්‍යාරත්නට දුරකතන ඇමතුම් ලබාදුන්නෝය. “මන්ත‍්‍රීතුමා ඔබතුමාලා අමාත්‍යංශයේ ඉන්නකොට නේද මේ තීරණය ගත්තේ” නිලධාරීන් කිහිප දෙනෙක්ම විමසා සිටියහ.
මේ දුරකතන ඇමතුම් නිසාම සමන්ත විද්‍යාරත්නද විජිත හේරත්ට දුරකතන ඇමතුමක් ලබාදෙමින් “අපි අමාත්‍යංශයේ ඉන්නකොට තීරණය ගත්තටද ඒක හරියට ක‍්‍රියාත්මක වෙලා නැහැ නේද?” යි විමසීය. “ඔව්, අපි අමාත්‍යංශයෙන් ඉවත් වෙන්න ආසන්න වෙනකොටනේ මේ තීරණය ගත්තේ ඒ නිසා මොකද වුණේ කියලා දැනගන්න අපිට බැරිවුණා නේද? කොහොම හරි අවුරුදු 11කට පස්සේ මේ තීරණය ක‍්‍රියාත්මක වීම නම් වටිනවා” විජිත හේරත් කීවේය.
2004 නොවැම්බර් මාසයේදී එවකට සංස්කෘතික නියෝජ්‍ය ඇමති සමන්ත විද්‍යාරත්න මහනුවර කැප්පෙටිපොල පිළිමය අසලදී කැප්පෙටිපොල පරම්පරාවේ ඥාතීන් පිරිසක් ඉදිරියේ කැප්පෙටිපොල ඇතුළු පිරිසක් ජාතික වීරයින් ලෙස නම් කළේය.
නමුත් ඔවුන්ගේ රාජසන්තක කළ ඉඩම් පිළිබඳව තිබූ නීතිමය ගැටලු නිරාකරණයට පාර්ලිමේන්තුවේ පනතක් සහ ගැසට් පත‍්‍රයක් සම්පාදනය කළ යුතුව තිබිණි. කෙසේ වෙතත් පැවැති පාලනයන් තුළ එය නිසියාකාරව සිදු නොවූ අතර පසුගිය 2017 අයවැය විවාදයේදී මේ පිළිබඳව විජිත හේරත් මන්ත‍්‍රීවරයා වත්මන් සංස්කෘතික ඇමතිවරයාගේ අවධානය යොමු කළේය.










