හඳුන්නෙත්තිට පිළිතුරු නොදෙන්නැයි අගමැති විදුලි ඇමතිට කියයි…

විදුලි බල අමාත්‍යංශය පිළිබඳව අයවැය විවාදය පසුගිය 07වැනිදා පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණ නියේජනය කරමින් එම විවාදයට එක්වූයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාය. මන්ත‍්‍රීවරයා එහිදී විදුලි බල මණ්ඩලයට වැඩි කොටස් අයිතියක් හිමි එල්.ටී.එල්. සමාගම පෞද්ගලික අංශයට ලබාදීමට යෑමේ උත්සහය ගැනද අදහස් පළකළේය.

“අපි කෝප් කමිටුවේදීත් නිර්දේශයක් දීලා තිබෙනවා එල්.ටී.එල්. සමාගමේ විදුලි බල මණ්ඩලය සතු කොටස් පවරන්න එපා කියලා. නමුත් ආර්ථික කමිටුව මගින් ඒවා නොසලකා කොටස් පවරන්න හදනවා. ආර්ථික කමිටුව ඉන්නේ ආණ්ඩුව පැත්තේ නෙවෙයි.” හඳුන්නෙත්ති කීවේය. මේ අදහස් දැක්වීමට හේතු වූයේ අගමැතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් මගින් එම සමාගමේ විදුලි බල මණ්ඩලය සතු කොටස් එම සමාගමට පවරා දීමට කටයුතු කිරීම නිසයි.

මේ පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී අගමැතිවරයා පුටුවෙන් නැගී සිට විදුලි බල ඇමති රංජිත් සියඹලාපිටිය අසලට ගියේය. ඇමතිවරයා අසලට ගිය අගමැතිවරයා කුමක් හෝ දෙයක් රහසින් කියනු පෙනිණි. කෙසේ වෙතත් ඇමතිවරයගේ පිළිතුරු කතාවේදී හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා එල්ටීඑල් සමාගම සම්බන්ධයෙන් ඇසූ කිසිදු ප‍්‍රශ්නයකට පිළිතුරු ලබානොදීමට වගබලා ගෙන තිබිම විශේෂත්වයක් විය.

Facebook
Twitter
LinkedIn