කතානායකට යවපු ලියුමට උත්තර බඳින්න රනිල් කලබල වුනේ ඇයි?

කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය සතියේ කතානායකවරයාට විශේෂ ලිපියක් යොමු කළේය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසත් කතානායකවරයා විසින් වාර්තාව පිළිබඳව ගතයුතු ක‍්‍රියාමාර්ග පසෙකලා අගමැතිවරයා එයට මැදිහත්වීම පිළිබඳවත් එම ලිපියෙන් කතානායකවරයාගේ අවධානය යොමු කරවීය. එමෙන්ම අගමැතිවරයා විසින් කෝප් වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීම කතානායකවරයාගේ බලය අගමැතිවරයා විසින් පවරා ගැනීමක් බවද කෝප් සභාපතිවරයා එම ලිපියේ සඳහන් කළේය.

ලිපිය කතානායක කාර්යාලයට ෆැක්ස් කිරීමෙන් ඉතා කෙටි කාලයක් තුළදීම අගමැති කාර්යාලය විසින් පිළිතුරු ලිපියක් මාධ්‍යයට යොමු කළේය. මේ පිළිබඳව කෝප් කමිටුව නියෝජනය කරන ජවිපෙ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනක් අතර කතාබහක් ඇතිවිය.

“කතානායකට යවපු ලිපියට පිළිතුරු දෙන්න අගමැතිවරයා කලබල වුණේ ඇයි?” වෛද්‍ය නලින්ද ජයතිස්ස සුනිල් හඳුන්නෙත්තිගෙන් විමසීය. “ඒකෙන්ම තේරෙනවා අගමැති මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කොයිතරම් සංවේදීද කියලා. තමන්ගේ යාළුවා බේරගන්න පුදුම කැපවීමකින් වැඩකරනවා. හදිස්සි වෙලා ලියුම් ගැහුව්වට ඒ ලියුමේ තියෙන දේවල් වැරදියි” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

“ඔව්, අගමැති කියලා තිබුණේ කෝප් කමිටුවේ ලේකම් තමයි වාර්තාව නීතිපතිට යැව්වේ කියලා. ඒක වැරදි කතාවක්. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා ඒක නීතිපතිට යොමු කළා. අවශ්‍ය පියවර ඉදිරියේදී ගනීවි කියලා.” බිමල් රත්නායක කීවේය.

“ඇත්තටම වුණේ අගමැති කාර්යාලයෙන් කෝප් කාර්යාලයේ ලේකම්ගෙන් ඇමුණුම් වගයක් ඉල්ලලා තිබුණා. ඒ ඇමුණුම් ටික අගමැතිට ලබාදුන්න එක තමයි කෝප් කමිටුවේ ලේකම් කළේ. ඊට වැඩි දෙයක් නැහැ. රනිල් කරන වැඩවලින් තේරෙනවා බැඳුම්කර ගනුදෙනුව ගැන කොයිතරම් කලබලද කියලා. පුහුල් හොරා කරෙන් දැනේ කියලා කතාවක් තියෙන්නේ නිකම්ම නෙවෙයිනේ” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්