මේ වසරේ ඔක්තෝම්බර් මස රුසියාවේ සෝචි හි දී පැවැත්වීමට නියමිත ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල ට අදාළව ජාතික සූදානම් කිරීමේ කමිටුව ඊයේ (16) වන දින රැස් විය.
තරුණ හා ශිෂ්‍ය සංවිධාන ඒකරාශී කරගනිමින් උළෙල දක්වා කෙරෙන වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් කමිටුවේ සම සභාපතිවරුන් වන කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබේ.
ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල යනු ලෝක ප්‍රජතන්ත්‍රවාදී තරුණ සම්මේලනයෙ හි මැදිහත්වීමෙන් ලොව පුරා විසිරී සිටින අධිරාජ්‍ය විරෝධී තරුණ ප්‍රජාව ඒකරාශී කිරීමේ අරමුණින් පවත්වනු ලබන උළෙලකි. ඊයේ දින මෙම කමිටුවට ලෝක ප්‍රජතන්ත්‍රවාදී තරුණ සම්මේලනයෙහි සාමාජිකත්වය සහිත ශ්‍රී ලංකාවේ සංවිධාන වන සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, කොමියුනිස්ට් තරුණ සම්මේලනය, ලංකා ජාතික ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංගමය, සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනය හා සමසමාජ පක්ෂ තරුණ සංගමය සහභාගී විය.
එසේම එම සංවිධාන වල ආරාධනයෙන් තවත් බොහෝ සංවිධාන ජාතික සූදානම් කිරීමේ කමිටුවේ වැඩ කටයුතු වලට ඊයේ දිනයේ සම්බන්ධ විය. ඒ අතර හින්දු ජනතා ප්‍රජතන්ත්‍රවාදී පක්ෂය, ජාතික තරුණ සේවා සභාව, ඊපීඩීපී ප්ක්ෂයේ තරුණ අංශය, ප්ලොට් පක්ෂය තරුණ අංශය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එකසත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණ, තරුණ නව රැල්ල සංවිධානය, අන්තර් සමාගම් සේවක සංගමය, ජාතික විද්වත් වෘත්තික සංසදය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික ශිෂ්‍ය පෙරමුණ, අයි.ටී.ඒ.කේ පක්ෂයේ තරුණ අංශය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානය හා විවෘත විශ්වවිද්‍යාලයීය ස්වාධීන ශිෂ්‍ය සංගමය යන සංවිධන නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතයෝ වූහ.











