ගීතාට මන්ත්‍රී ධුරයක් දරන්න බැහැ – නීතිපති අධිකරණයට කියයි

ගීතාට මන්ත්‍රී ධුරයක් දරන්න බැහැ – නීතිපති අධිකරණයට කියයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 91 වන වගන්තිය අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව නීතිපතිවරයා විසින් අද (14) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තේරීපත්වීම අභියෝගයට ලක්කරමින් ගාල්ල ප්‍රදේශවාසීන් සිව්දෙනෙකු ගොනු කළ පෙත්සම අද (14) අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා පවසා ඇත්තේ වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්තයේ හිමි පුරවැසිභාවය මේ දක්වා අවලංගුකර ඇති බවට අධිකරණය හමුවේ කරුණු දක්වා නොමැති බැවින් ඇයට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නොහැකි බවය.

ලබන අප්‍රේල් 05 වන දිනට පෙර දෙපාර්ශවයේ කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන යොමුකරන මෙන් පෙත්සම්කාර පාර්ශවයට හා වගඋත්තරකාර පාර්ශවයට අභියාචනාධිකරණය විසින් නියෝග කර මින් පවසා ඇත්තේ මැයි 05වන දින මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව ය.

ගීතා කුමාරසිංහ මහත්මිය මීට කලකට පෙර ප්‍රසිද්ධ මැතිවරණ රැස්වීමකදී ප්‍රකාශ කර තිබුනේ තමන් ස්විස්ටර්ලන්තයේ පුරවැසියෙකු හා විවාහ වී සිටින බැවින් තමන්ට ඉබෙම ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය හිමිව ඇති බව ය.

Facebook
Twitter
LinkedIn