වැඩකරන ජනතාවගේ සටන්කාමී බලය ශිෂ්‍ය ව්‍යාපාරය සමග මුසු කළ යුතුයි

වැඩකරන ජනතාවගේ සටන්කාමී බලය ශිෂ්‍ය ව්‍යාපාරය සමග මුසු කළ යුතුයි

ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමටත් වැඩි දියුණු කිරීමටත් උපරිම ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක වැඩ කරන ජනතාවගේ සටන්කාමී බලය හා ජවය ඒ සමඟ මුසු කළ යුතු අවස්ථාව පැමිණ ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මුදලට වෛද්‍ය උපාධිය විකුනන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඊයේ (13) විශ්වවිද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධා පෙළපාලියට එල්ල කළ ම්ලේච්ච පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනිනන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වන අතර එහි සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් පළ වේ.

“මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව සරසවි සිසුන්ට එල්ල කළ තිරිසන් ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙලා දකිමු.

මාලඹේ සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය අහෝසි කරන ලෙසට බල කරමින් මාර්තු 13 දින කොළඹදී සරසවි සිසුන් විසින් පැවැත් වූ පා ගමනට රනිල් මෛත‍්‍රී ආණ්ඩුව එල්ල කළ ප‍්‍රහාරය සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන් ගේ සංගමය දැඩි පිළිකුළෙන් හෙලා දකී.

සයිටම් ගැටලුවට නිසි විසදුම් නොදී මීට පෙර අවස්ථා ගණනාවකදී මෙලෙසම ශිෂ්‍යන්ට පහරදී ඔලු පලා අත්තඩංගුවට ගත් ආණ්ඩුව නැවත නැවතත් පෙන්වන්නේ යහ පාලනයේ සැබෑ නිරුවත මිස අන් යමක් නොවේ. වෙඩි තැබීමේ රංගනයන් ඉදිරිපත් කළ සමීර සේනාරත්න ඇතුලු පිරිස අත්තඩංගුවට නොගන්නා ආණ්ඩුව සරසවි ශිෂ්‍යයන් පසු පස එලවා අත්තඩංගුවට ගැනීමෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ නීතිය යනු වර්තමාන පාලකයන්ගේ අවශ්‍යතාවය මත ඉටු වන්නක් බවයි.

ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමටත් වැඩි දියුණු කිරීමටත් උපරිම ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක වැඩ කරන ජනතාවගේ සටන්කාමී බලය හා ජවය ඒ සමඟ මුසු කළ යුතු අවස්ථාව පැමිණ ඇති බව අපි අවධාරණය කර සිටිමු.

ස්තූතියි.

වෛද්‍ය ජයන්ත බණ්ඩාර

ප‍්‍රධාන ලේකම්

සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.”

Facebook
Twitter
LinkedIn