කොටහේන හා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයන් දෙදෙනකු වූ පක්කිලිසාමි යෝගනාදන් හා රත්නසාමි ප්‍රේමනානන්දන් යන දෙදෙනා ඔවුන් ගමන් කළ වෑන් රථය සමගම පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ නමැත්තා සහ තවත් බුද්ධ අංශ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොක්සි මහතාට ඊයේ (27) දැනුම් දී තිබේ.
මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරු වැලිසර නාවික හමුදා රෝහලේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි කරන ලුතිනන් කොමදෝරු ධම්මික අනිල් මාපා නමැත්තාට අතුරුදන් වූ එක් පුද්ගලයෙකුට අයත් වෑන් රථය කැබලි කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ නමැත්තා බව තොරතුරු අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දී ඇත.
එබැවින් එවකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ නමැත්තා මෙන්ම නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු වන දොන් සම්පත් දයානන්ද නමැත්තාද එකී අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බවද පෙන්වා දී තිබේ.
රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනාකමක් ඇති එම වාහනය කොටස් 72කට කපා වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ නිවසක සඟකවා තිබියදී සොයා ගත් බවත් අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනාට අයත් ජංගම දුරකථන වෙනත් සිම් කාඩ්පත් උපයෝගි කර ගනිමින් නාවික හමුදා නිලධාරීන් භාවිතා කරන බවට අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
පොලිස්පතිවරයා විසින් කරන ලද නියෝගයක් අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට සැකකාර බුද්ධි නිලධාරී දයානන්ද නමැත්තාගෙන් ප්‍රශ්න කර වැඩිදුරටත් පරීක්ෂණ සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බාධා කර ඇති බැවින් අනුර සේනානායක මහතාගෙන් ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දී තිබේ.
අනුර සේනානායක මහතා එලෙස බාධා නොකළේ නම් වඩුවෙල් පක්කිලසාමි ලෝගානන්දන් හා රත්නසාමි ප්‍රේමනානන්දන් නමැති එම පුද්ගලයන් දෙදෙනා අතුරුදන් කිරීම හා ඔවුන් ඝාතනය කොට ඔවුන් සතු දේපොළ පරිහරණය කිරීම පිළිබඳ තොරතුරු මෙයට පෙරම අනාවරණය කර ගැනීමට ඉඩ කඩ තිබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකණයට කරුණු අනාවරණය කර ඇත.









