හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංස රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී එම මුදල් උපයාගත් ආකාරය පිළිබඳව හෙළි කිරීමට ඇය අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි.
මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලැබුණු පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව ශෂී වීරවංස පසුගියදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා පැය කිහිපයක් ප්‍රශ්න කර ඇත. ඇය විසින් එම ඉදිකිරීම සඳහා වැය කිරීමට මුදල් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වී ඇත.
පරීක්ෂණයට අදාළ ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව පැවසෙන අතර නීතිපති දෙපාර්තමේන්තුව මගින් එම පරීක්ෂණයට අදාළ වාර්තාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙතද යොමු කර ඇති බව වාර්තා වේ. මුදල් විශුද්ධිකරණ පනත යටතේ වත්කම් උපයා ගැනීම තහවුරු කිරීමට නොහැකි වුවහොත් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සාමාන්‍ය ක්‍රමයයි.









