බැදුම්කර මගඩියෙන් EPF අනතුරේ – වසන්ත සමරසිංහ මහ බැංකු අධිපතිට ලියයි

මහ බැංකු බැදුමකර වංචාව හරහා සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇති පාඩුව සම්බන්ධව විමසමින් අන්තර් සමාගම් සේවක සංගමය විසින් මහ බැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර එම ලිපියේ පිටපත් ජනාධිපති, අගමැති, මුදල් ඇමති, නීතිපති, විගණකාධිපති සහ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරු වෙත යොමුකරු තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

“ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සේවය කළ ඔබගේ කෙටි නිල කාලය තුළදී ඔබ වෙත යොමු කරනු ලබන තෙවැනි ලිපියයි මේ. මීට පෙර ඔබ වෙත 2016.09.05 සහ 2016.10.19 යන දිනවල අප විසින් යොමු කරන ලද ලිපිවල කරුණු සහ ඉල්ලීම් රාශියක් අඩංගු වුවද ඒවා ආශ්‍රිතව කිසිදු යහපත් ප්‍ර‍තිචාරයක් ඔබගෙන් හෝ මුදල් මණ්ඩලයෙන් නොලැබීම මහත් කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ දූෂිතම මගඩිය වන මහ බැංකු බැදුම්කර මගඩිය මෙලෙස යටපත් කිරීමට ඔබගෙන් ලැබී ඇති දායකත්වයෙන් තහවුරු වී ඇත්තේ ඔබද එම මංකොල්ලයට සම්බන්ධ පුද්ගලයෙකු බවය. එම නිගමනයට එළඹීම සදහා සෘජු සහ වක්‍රාකාර සාක්ෂි අද වනවිට අප සතුව ඇති අතර ගොඩ නැගී ඇති පසුබිම ඔස්සේ මින් ඉදිරියේදී ඔබද මෙම බැදුම්කර මංකොල්ලයට සම්බන්ධ පුද්ගලයෙක් ලෙස සලකන්නට අපට සිදුවෙන බවට අනතුරු ඇඟවීමක් අපි මෙම ලිපිය මගින් ඔබට දන්වා සිටිමු.

එපමණක් නොව. පහත දක්වා ඇති නීතිවිරෝධී ක්‍රියාවන් හරහා ඔබ දැනටමත් අප රටේ නීති කීපයක්ම පැහැදිළිවම උල්ලංඝණය කොට ඇති බව ඔබට මතක් කොට දීමට අප කැමැත්තෙමු.

1.    පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවට ඉදිරිපත් වී, මහ බැංකු අධිපතිවරයා වශයෙන් සේවය කිරීමට එම කමිටුවේ අනුමැතිය තවමත් ලබා නොගැනීම.

2.    නීත්‍යානුකූල ලෙස වත්කම් සහ බැරකම් වාර්තාවක් තවමත් වාර්තා නොකිරීම.

3.    විවිධ රටවල දේපළ සහ අනිකුත් සම්පත් නීතිවිරෝධීව තබා ගැනීම.

4.    රජයේ පරිපාලන බඳවා ගැනීම් ප්‍ර‍තිපත්තිවලට පටහැණිව අවුරුදු 68ක පුද්ගලයෙකු මහ බැංකුවේ අධිපතිවීම.

5.    සෞඛ්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම.

තවද මීට පෙර අධ්‍යක්ෂකවරයෙකු ලෙස අභ්‍යන්තර තොරතුරු උපයෝගී කරගනිමින් නීති විරෝධිව සහ වංචනික ක්‍රියාවල (insider trading) නියැලී සිටි ඔබ සමීප මිතුරු සහ හාම්පුතා වූ ඇමරිකානු ජාතික රාජ් රාජරත්නම් මහතාගේ ගැලියන් අරමුදලේ ඔබ කළ සේවය පිළිබදව ශ්‍රී ලංකා රටවැසියන්ට ඔබ විසින් මේ වනවිට ලබා දී ඇති තොරතුරු රාශියක් අසත්‍ය  බව දැනටමත් හෙලි වී ඇත. ඊට අමතරව බැදුම්කර මගඩියට සෘජුවම සම්බන්ධ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා තවමත් බැදුම්කර පිළිබදව කටයුතු වල යොදවමින් එල්ලවන සියලුම චෝදනා සහ පැමිණිළි සමරසිරි මහතාගේ උපදෙස් සහ අනු දැනුම මත වසන් කිරීමට ඔබද දැඩි උත්සාහයක නිරතව සිටින බව මේ වනවිට පැහැදිළි වී ඇත.

මෙම අවාසනාවන්ත තත්ත්වය තවදුරටත් සනාථ කරමින් මේ වනවිට බැදුම්කර මගඩිය නිසා සේවක අර්ථසාධක අරමුදලට විදින්නට වී ඇති පාඩුව, රුපියල් බිලියන 15ක් ඉක්මවා ගොස් ඇති බවට මහ බැංකු අභ්‍යන්තර වාර්තාවක් මගින් ඔබට සහ මුදල් මණ්ඩලයට දැනට මාස කීපයකට පෙර පැහැදිළිවම දැනුම් දී ඇති බව කරැණු හෙළිවී ඇත. එසේ වුවද, එම දැවැන්ත පාඩුව සිදු කළ මහ බැංකු නිලධාරින්ට හෝ පිටස්තර ආයතනවලට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ තවමත් යොමු වී නොමැත.

තවද, බැදුම්කර මගඩියේ  මූලික යාන්ත්‍ර‍නය ලෙස කටයුතු කළ මහේන්ද්‍ර‍න් මහතාගේ බෑණාගේ සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් යන ප්‍රාථමික ගණුදෙණුකරු සමාගමේ 2016.03.31 දිනෙන් අවසන් වූ වසර සදහා ශුද්ධ ලාභය රුපියල් බිලියන 5ක් බව අපි සියලු දෙනාම දැනටමත් දනිමු. එසේම, 2016.12.31 දිනෙන් අවසන්වූ 2016/17 වසරේ පළමු කාර්තු තුනේදී එම සමාගමේ ශුද්ධ ලාභය තවත් රුපියල් බිලියන 11ක් බවද මේ වනවිට අපට තොරතුරු ලැබී ඇත. එහෙත්, ප්‍රාථමික ගණුදෙණුකරු සමාගම් වල කාර්තු ගිණුම් (quarterly financial statements) මුද්‍ර‍ණය කොට ප්‍ර‍සිද්ධ කිරීමට පනවා තිබූ අතීත විධිවිධාන ඔබ විසින් මෑතකදී වෙනස් කරමින්, එම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම එම කාලය තුළදී ලබා ඇති දැවැන්ත ලාභය ජනතා දැනුමෙන් වසන් කිරීමට ඔබ දැන් කටයුතු කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත. ඔබගේ මෙම හැසිරීමෙන් තහවුරු වන්නේ රාජ් රාජරත්නම් මහතාගේ මගඩි වසන් කළා සේම, අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බැදුම්කර මගඩි වසන් කිරීමට, ඔබ අසාහාය කැපවීමකින් කටයුතු කරන බවය.

පවතින මෙම තත්ත්වය මුලු රටේම ජනතාවට තවදුරටත් පැහැදිළිව අවබෝධ කර ගැනීමට පහසු වන පිණිස පහත සදහන් ප්‍රශ්නවලට පිළිතුරැ රටට හෙළිකරන ලෙසට අප දැඩි ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.

1.  2015 ජනවාරි මස 01 වන දින සිට 2016 ජුනි මාස 30 දක්වා සේවක අර්ථසාධක අරමුදල විසින් සිදු කරන ලද සමස්ත ආයෝජනය කොපමණද?

2.2015 ජනවාරි මස 01 වන දින සිට 2016 ජුනි මාස 30 දක්වා කාළය තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික වෙළදපොළෙන් ලබා ගත් භාණ්ඩාගාර බැදුම්කරවල ආයෝජනය කොපමණද?

3.  අ) 2015 ජනවාරි මස 01 වන දින සිට 2016 ජුනි මාස 30 දක්වා කාළය තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් ද්විතීක වෙළදපොළින් ලබා ගත් භාණ්ඩාගාර බැදුම්කරවල ආයෝජනය කොපමණද? (එක් එක් බැදුම්කරයේ එයට අදාළ ප්‍රාථමික වෙළදපොළෙන් ලැබෙන පොළිය සහ ද්විතික වෙළදපොළෙන් ලබා ගත් පොලී අනුපාතයන් අතර වෙනස)

   ආ) එම එක් එක් බැදුම්කරය ප්‍රාථමික වෙළදපොළෙන් ලබා නොගෙන ද්විතික වෙළද පොලෙන් ලබා ගත් නිසා සේවක අර්ථසාධක අරමුදලට සිදුවී ඇති පාඩුව කොපමණද?

    ඇ) එම ද්විතික වෙළදපොළින් මිලදී ගත් බැදුම්කර දිවිතීය වෙළදපොළේදී පැවති පොලී අනුපාතයට වඩා (Yield rate) පහළින් මිළදී ගෙන තිබේද? එසේ නම්, එහි අගයන් කොපමණද?

4.  මෙම එක් එක් ආයෝජන සදහා සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන කමිටුවේ පූර්ව අනුමැතිය ලබාගෙන තිබේද?

5.  මෙම අලාභ සහ අක්‍ර‍මිකතාවයන් පිළිබදව මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට මේ වනවිට අභ්‍යන්තර වාර්තාවක් ලැබී ඇති බැවින් ඒ පිළිබදව ඔබ විසින් මේ වනවිට ගන්නා ලද ක්‍රියා මාර්ගයන් මොනවාද?

ඉහත කී ප්‍ර‍ශ්න සදහා ඔබගේ පිළිතුරු 2017 ජනවාරි 18 වන දිනට පෙර අප අපේක්ෂා කර සිටිමු. ඔබ එසේ නොකළහොත්, ඔබද මෙම බැදුම්කර මගඩිය වසන් කිරීමට පූර්ණ සහයෝගයක් ලබා දෙන බවට ඕණෑම කෙනෙකුට පැහැදිළි නිගමනයකට එළඹීමට සිදුවනු ඇත. එසේ නම් මින් ඉදිරියේදී එම නිගමනයට අනුව අප සියලු දෙනාම ක්‍රියා කරනු ඇත.

තවද, 2017 ජනවාරි 18 දින වනවිට අප ඉල්ලා ඇති තොරතුරු ඔබ ලබා නොදුනහොත්, එම දිනයේ සිට මහ බැංකුව සහ සේවක අර්ථසාධක අරමුදලේ මෙම වංචනික ක්‍රියාවලීන්ට විරුද්ධව අඛණ්ඩ විරෝධතා රට පුරා දියත් කිරීමට අප බලාපොරොත්තු වන බවද ඔබට අවධාරණය කර සිටිමු. 

එපමණක් නොව, මෙම බැදුම්කර මගඩිය පිළිබදව, මේ වනවිට පැහැදිළි සාක්ෂි රාශියක් අප අත ඇති නිසා, අනාගත දිනයක දැනට පවතින දූෂිත රජය වෙනස් වූ විට, මෙම දැවැන්ත දූෂණවලට සම්බන්ධ වූ සහ අනුබල දුන්, (ඔබ සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ඇතුලු) සියලු දෙනාට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියා දියත් කිරීමට අප කටයුතු කරන බවටද  ඔබට අවධාරණය කොට සිටිමු.

https://www.youtube.com/watch?v=rPtmT7q8M1Q

Image may contain: 4 people, text

Facebook
Twitter
LinkedIn