ද නේෂන් පුවත්පතේ ආරක්‍ෂක පුවත් වාර්තාකරු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කිත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවන ලදැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයා ඇතුළු නිලධාරින් පස්දෙනා හඳුනාගේ ගැනීමේ පෙරට්ටුව ඊයේ (03) දිනට යෙදී තිබූ අතර ඒ සඳහා කිත් නොයාර් මහතා නොපැමිනීම හේතුවෙන් එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව ලබන 16 වැනිදා තෙක් කල් දමා තිබේ.
කෙසේ වෙතත් යම් හෙයකින් එදිට කිත් නොයාර් මහතා ඊට නොපැමිණියහොත් හෝ ඔහට පැමිණිය හැකි දිනයක් පිළිබඳව අධිකරණයට දැනුම් නොදුනහොත් එම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව විසුරුවා හරින බවත් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කර ඇත.
2008 වසරේ මාර්තු මාසයේදි කිත් නොයාර් මහතා කාර්යාලයේ සිට නිවස බලා මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී කිසියම් පිරිසක් විසින් දෙහිවල සිය නිවස ආසන්නයේදී පැහැරගෙන ගොස් පහරදී නිවස අසලට ගෙනවිත් දමා ගොස් තිබූ අතර ඊට අදාළව පසුගිය 18වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් උක්ත බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.









