ආරක්ෂක අමාත්‍ය ලෙසින් සිටි මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් අනුව සුදුසුකම් නොමැති පොලිස් නිලධාරීන් තිදෙනෙකු හට උසස්වීම් ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකින් චූදිතයින් වැරදිකරුවන් වී ඇත.
මහින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයා ලෙසට ද, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස සිටි 2010 මැයි මස මෙම අනීතික උසස්වීම් ලබා දී තිබේ. අදාළ උසස්වීම් ලබා දීමට මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ සඳහන් කර තිබී ඇත්තේ “මා තංගල්ල ප්‍රදේශයේ සංචාරයේ යෙදුණු සෑම අවස්ථාවකදීම මට සහ මගේ පවුලේ අයට කාර්යක්ෂමව සහ කැපවීමෙන් ආරක්ෂාව ලබාදීම” වැනි කරුණු ය.
පොලිසියේ උසස්වීම් ලබා දීමේ දී අනුගමනය කරන සියළු පිළිගත් ක්‍රියාමාර්ග පසෙකට දමා කැබිනට් තීන්දුවක් අනුව උසස්වීම් ලබා දී ඇත. ඒ. ජේ. වයි. බී. ක්‍රිෂාන්ත, ටී. ජී. එෆ්, ගුණතිලක සහ ජී. එම්. ප්‍රෂාන්ත පෙරේරා යන පොලිස් නිලධාරීන්ට සහකාර පොලිස් අධිකාරී ධුරය ලබා දීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට 2010 අගෝස්තු මස පොලිස් නිලධාරීන් 33 විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම මස 08 වෙනි දින තීන්දුව ලබා දෙමින් අදාළ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ප්‍රකාශයට පත් කෙරිනි. එම තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයාට යොමු කර ඇති අතර, 17 වෙනි දින එම උසස්වීම් අවලංගු කර තිබේ.










