වසර 10කට පසු යාපහුව ශ්‍රී දළදා පෙරහර හෙට (29) වීදී සංචාරය කරයි

වසර 10කට පසු යාපහුව ශ්‍රී දළදා පෙරහර හෙට (29) වීදී සංචාරය කරයි

ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානවත් ප්‍රෞඪත්වය සහ දන්ත ධාතූන් වහන්සේ උදෙසා කෙරෙන ශ්‍රී දළදා පූජෝපහාරය, වසර 10කට පසුව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබේ.

වසර 10ක් තිස්සේ තාවකාලිකව නතර වී තිබූ මෙම අභිමානවත් පෙරහර මංගල්‍යය මෙලෙස නැවත ආරම්භ කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් යාපහුව රාජමහ විහාරස්ථානයේදී පසුගියදා (25) පැවැත්විණි.

13 වැනි සියවසෙහි පළමුවන බුවනෙකබාහු රාජ්‍ය සමයේදී යාපහුව රාජධානිය තුළ උත්තම දළදා වහන්සේ වඩා හිඳුවා ගනිමින් රාජකීය පූජෝපහාර පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන්.

එකල ආරම්භ වූ මෙම පූජෝපහාර පෙරහර මංගල්‍යය රාජධානියේ බිඳවැටීමත් සමඟ නතර වී තිබුණ ද, අපවත් වී වදාළ වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක කඳුබොඩගම ශ්‍රී සීලානන්දාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ විසින් එය 1969 වසරේදී නැවත ආරම්භ කර තිබේ.

ඉන් අනතුරුව වැඩසිටි විහාරාධිපති නායක හිමියන් විසින් පෙරහර පවත්වා ඇති අතර පසුකාලීනව යාපහුව රාජමහා විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ මීගම්මන සිරිරතනාභිධාන නාහිමි සමයේ වසර ගණනාවක් පුරා මෙම සංස්කෘතික මංගල්‍යය ඉතා අභිමානවත් ලෙස පවත්වා තිබිණි.

පසුගිය 21 වනදා පෙ.ව. 10.16ට යෙදුණු සුභ මොහොතින් යාපහුව රාජමහා විහාරාධිපති නුගලියද්දේ සමිතානන්ද හිමි, යාපහුව බස්නායක නිලමේ කසුන් ලක්ෂිත මාපා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වයඹ ව්‍යාපෘති කළමනාකරු සජිත් නුවන් වනසිංහ සහ දායක සභාව විසින් ශ්‍රී දළදා පෙරහරේ කප් සිටුවීමේ මංගල්‍යය සිදු කරන ලදී.

අද (28) පස්වරුවේ පිරිත් සජ්ඣායනා සහ පසු දින දානමය පුණ්‍යකර්ම පැවැත්වෙන අතර හෙට (29) රාත්‍රී 7.00ට සුබ මොහොතින් අලි ඇතුන් පිරිවරා ගත් ප්‍රධාන ශ්‍රී දළදා පූජෝපහාර පෙරහර අති උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කිරීමට නියමිතය.

මෙහිදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න අදහස් දක්වමින් සඳහන් කළේ පෙරහර නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, නවාතැන් සහ ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කිරීමට මහව පොලිසිය, ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශයේ හෝටල් හිමියන් එක්ව කටයුතු කර ඇති බවය.

පෙරහර සංවිධාන කටයුතු සඳහා ජනාධිපති අරමුදල, ලොතරැයි මණ්ඩලය සහ වයඹ පළාත් සභාව ඇතුළු ආයතන මඟින් හා ප්‍රදේශවාසීන්ගේ මූල්‍යමය දායකත්වයෙන් හා මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව ඇතුළු ආයතනවල සංවිධානාත්මක අනුග්‍රහය මේ සඳහා හිමිව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්