22 සංශෝධනයක් පමණක් නොවෙයි, මෙහි ප‍්‍රතිසංස්කරණයක් සිදුවෙනවා – නීතිඥ අශෝක සේරසිංහ

22 සංශෝධනයක් පමණක් නොවෙයි, මෙහි ප‍්‍රතිසංස්කරණයක් සිදුවෙනවා – නීතිඥ අශෝක සේරසිංහ

22 වැනි සංශෝධනය සංශෝධනයක් පමණක් නොවන බවත් මෙහි ප්‍රතිසංස්කරණයක් සිදු වන බවත් නීතිඥ අශෝක සේරසිංහ අවධාරනය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ අශෝක සේරසිංහ,

“මෙතෙක් කල් හිටපු රජයන් ව්‍යවස්ථාවේ සංශෝධනයන් තමයි සිදු කළේ. ඒ සංශෝධනයන් කළේ පෞද්ගලික න්‍යාය පුත්‍රයන් යටතේ. 22 වැනි සංශෝධනය සංශෝධනයක් පමණක් නොවෙයි, මෙහි ප්‍රතිසංස්කරණයක් සිදු වෙනවා. පසුගිය කාලපරිච්ඡේදවල අධිකරණ පිළිබඳව ජනතාවගේ අප්‍රසාදයක් තිබුණා. විනිශ්චයකරුවන්ගේ සහ නීතිඥයින්ගේ යම් යම් කරුණු නීතිය පමාවීම එක් කාරණයක්. ඒකට හේතුව තමයි උසාවියේ පරිපාලනය හොඳින් තිබුණේ නැහැ. අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථා සංශෝධනය වගේම එයත් එක්ක අනුබද්ධ වුණු ප්‍රතිසංස්කරණයක්. මේ රජය අපේක්ෂා කරන්නේ සිස්ටම් චේන්ජ් එකක්. ඒ කියන්නේ පද්ධති වෙනස් කිරීමක්. එහි එක් අංගයක් හැටියට අධිකරණ ප්‍රතිසංස්කරණ සිදු වෙමින් පවතිනවා. එදා අධිකරණයක දී කටයුතු කළාට වඩා වැඩි උනන්දුවකින් අද කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට පෞද්ගලික හේතුවක් හැටියට නඩුවක් කල් දාන්න බැහැ. මේ පද්ධති ප්‍රතිසංස්කරණ තවදුරටත් පවත්වාගෙන ගොස් සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක අපේක්ෂාව රජයට තිබෙනවා. කුමන ප්‍රතිසංස්කරණය කළත් පවතින ව්‍යවස්ථා ආකෘතිය තුළ තමයි කළ යුත්තේ. ඒ නිසා තමයි 22වැනි සංශෝධනය ගේන්නේ.

මේ කාල වකවානුව අධිකරණය ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරන වකවානුවක්. දැන් විශාල නඩු ප්‍රමාණයක් අඛණ්ඩව අහගෙන යමින් තිබෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණවල දිනපතාම නඩු අසමින් ඉවර කරමින් තිබෙනවා. මේ නඩු අවසන් වීම සහ විත්තිකරුවන්ට දඬුවම් දීමේ කාර්ය පිළිබඳව උකටලී වූ පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි මේ ප්‍රතිසංස්කරණයට විරුද්ධව මතවාද ගොඩනගමින් ඉන්නේ. අධිකරණ පද්ධතියේ සිදු කරන ප්‍රතිසංස්කරණ ඉවර කරන්න නම්, ඒ පද්ධතියේ සිටින විනිශ්චයකරුවන් එම ප්‍රතිසංස්කරණ ඉවර වෙන තුරු සිටීමේ අවශ්‍යතාව තිබෙනවා.

හිටපු අග‍්‍රවිනිශ්චයකාරවරියක් දෝෂාභියෝගයකින් ඉවත් කොට ගෙදර සිටි පුද්ගලයෙකුව අග‍්‍රවිනිශ්චයකාරවරයෙක් කළා. ඒ අවස්ථාවේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිසිවෙක් කතා කළේ නැහැ. 78 ව්‍යවස්ථාව ආව අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු තවදුරටත් සේවය කළ හැකි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙක්ව ගෙදර යැව්වා. ඒ අවස්ථාවේ විරුද්ධ පක්ෂයේ හිටපු කිසිම කෙනෙක් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කළේ නැහැ. අපි තිබෙන ව්‍යවස්ථාවට අනුව 22 වැනි ව්‍යවස්ථාව ගේනවා. මේ පද්ධතිය තුළ සිද්ධ වෙන ප්‍රතිසංස්කරණය පවත්වාගෙන යාම සඳහා තව කාලයක් අවශ්‍යයි. ඒ නිසා අත්දැකීම් සහිත, ප්‍රබුද්ධ පරිචයක් තිබෙන විනිශ්චයකරුවන්ට සේවය සඳහා තව අවුරුදු දෙකක අවකාශයක් ඇති කිරීම තමයි මෙහි පරමාර්ථය.

මෙයට එන මූලිකම අවලාදය තමයි, මැතිවරණ ප්‍රකාශනයේ මෙසේ කියා නැතැයි කීම. ඒ ගිවිසුම ඇති කර තිබෙන්නේ ජාතික ජන බලවේගය හා මහජනතාව සමග. ප්‍රජාතන්ත්‍රීයව රාජ්‍ය බලය ජනවරමකින් යම්කිසි කණ්ඩායමකට දුන්නා නම්, ඒ කණ්ඩායම ජනතාව නියෝජනය කරමින් කටයුතු කරනවා. මේ සංශෝධනය ගේන්න බැහැයි කියා කිසිවෙකුට කියන්න බැහැ. මෙහි කුසලතාවය ගැන කතා කළ හැකියි. විරුද්ධ පාර්ශ්වයේ කිසිවෙක් එහි කුසලතාවය ගැන කතා කරන්නේ නැහැ. මේ යෝජනාව කරන විදිහේ වැරදි බව තමයි ප්‍රකාශ කරන්නේ. ජාතික ජන බලවේගය, මහජනතාව දුන් බලය ව්‍යවස්ථාව උල්ලංඝණය නොකරමින් යම්කිසි ක්‍රියා පිළිවෙළක් අනුගමනය කරනවා. කියන්න කරුණු නැති තැන මඩ ගැසීම කරමින් ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුට මඩ ගැසීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය රැකෙන්නේ නැහැ. අගවිනිසුරුගේ දෝෂයක් තිබේ නම්, එයට දෝෂාභියෝගයක් ගේන්න  ඕනෑ. පසුගිය කාලයේ අපි මලානික විදිහට වැඩ කළ බව ස්වයං විවේචනයක් ලෙස ඉදිරිපත් කරනවා. එයට හේතුව තමයි අධිකරණ පාලනයක් තිබුණේ නැති එක. අද අධිකරණ පරිපාලනය තිතට කෙරෙනවා අල්ලසක් නොදී. කාර්යාලයක කටයුත්තක් කර ගැනීමට බැරි කමක් තිබුණා. අද අල්ලසක් දෙන්නත් ගන්නත් බයයි. දැන් සිස්ටම් එක වෙනස් වෙලා තිබෙන්නේ. මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ පක්ෂයේ අය විරුද්ධයි. එයාලාට අවශ්‍ය දිගටම දියාරු අධිකරණයක් පවත්වාගෙන යාම. මේ සංශෝධනය, සංශෝධනයක් පමණක්ම නොවෙයි, මෙහි විශිෂ්ට තම ප්‍රතිසංස්කරණයක් සිදු වෙනවා. ඒ ප්‍රතිසංස්කරණය වළක්වා ගැනීමට අම්මා, තාත්තාටත් මඩ ගහන එක එයාලා කරනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්