එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව නඩුවක් අවසන් වෙයි

එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව නඩුවක් අවසන් වෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති එස්.එම් චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේ, සැකකාර හිටපු ඇමතිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ දැනටමත් අධිචෝදනා ගොනු කර ඇති බවත්, එම නඩුව විභාගය සඳහා නියම කර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්ති පාර්ශ්වයේ නීතිඥයා අධිකරණයට දැනුම් ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්, සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කිරීමට නියෝග කර ඇත.

ගොවීන් අතර බෙදා දීම සඳහා රුපියල් මිලියන 25ක රජයේ මුදල් වැය කර මිලදී ගත් බඩඉරිඟු බීජ, එවකට පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව සිය ආධාරකරුවන් අතර බෙදා හැරීමෙන් “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්