ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය සහ එම සංගමයේ ලේකම් නලින්ද සිල්වා අත්සනින් ඊයේ (27) නිකුත් කළ නිවේදනය තවත් යටි අරමුණක් සහිතව නිකුත් කළ කුප්‍රකට නිවේදනයක් දැයි බලවත් සැකයක් මතුවී තිබේ.
මෙම සැකය මතුවී තිබෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයද යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන පසුබිමකය. මෙවැනි පෙත්සම් ගණනාවක් මේ වනවිට ඉදිරිපත් කර තිබේ. එම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ඇතුළු විනිසුරු මණ්ඩලයක් පත් කිරීම වැළැක්වීමේ යටි අරමුණු සහිතව මෙම නිවේදනය නිකුත් කර ඇති බව මනාව පැහැදිලි වන්නේ යැයි විචාරකයන් පෙන්වා දී ඇත.
නීතිඥ සංගමය නිකුත් කර තිබෙන නිවේදනයේ ”අධිකරණය පිළිබඳ වගකීම් සහගත විමර්ශනය සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රකාශය” යන සිරස්තලය යටතේ ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය යනුවෙන් නම් කර ඇති පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ අයිතිවාසිකම් හා යහපත සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු වන බැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රතිපත්තිමය පදනමක් මත එයට විරුද්ධ ස්ථාවරයක් ගෙන ඇත. ඒ අනුව යෝජිත සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ඇත. ” වගන්තියක් ඇතුළත් කර තිබේ.
එම නිවේදනයේ ”ඒ අනුව යෝජිත සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇත.” යනුවෙන් සඳහන් කිරීම මගින් අගවිනිසුරු මෙම පෙත්සම් විභාගයේ විනිසුරුවරයෙකු ලෙස අසුන් ගැනීම ලබැඳියාවන් අතර ගැටුමක් ලෙස දැක්වීමට සියුම් ලෙස කටයුතු කර ඇති බව නිරීක්ෂකයන් පෙන්වා දී තිබේග ඔවුන් වැඩිදුරටත් තහවුරු කරන්නේ අදාළ නිවේදනයේ ”මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුව හොත් 22 වන සංශෝධනයෙන් ප්රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ ගරු අගවිනිසුරුතුමා බව නිරීක්ෂණය වේ. ඒ අනුව 2026 දෙසැම්බර් පළමුවෙනි දින අවසන් වීමට නියමිත ගරු අගවිනිසුරු තුමාගේ කාර්යය දීර්ඝ කිරීම සඳහා මෙම සංශෝධනය කඩිනමින් ඉදිරියට ගෙන යන බවට පුළුල් මතයක් පවතී.” ලෙස සඳහන් කර ඇත. මෙම සඳහන යොදා තිබෙන්නේම මෙම පෙත්සම් විභාගයට අගවිනිසුරු සහභාගී වීම අභියෝගයට ලක්කිරීම සඳහාම බව පැහැදිලි වී ඇත.










