නේපාලයට සිදු වූ දරුණු ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක් සහ වෛද්‍ය ආධාර ඇතුලත් කණ්ඩායමක් සහන සේවා කටයුතු සඳහා ලබා දීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් තිබෙන අතර, මෙම මූල්‍යමය ආධාරය ලබා දීම ගැන නිවේදනය කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලාංකිකයින් එම පරිත්‍යාගය ඉහළින් ම අනුමත කර ඇත. නේපාල රජයේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් සහල් තොගයක් සපයා දීමට සූදානම් බව ද ශ්‍රී ලංකා රජය වැඩි දුරටත් සඳහන් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක X ගිණුමේ සටහනක් තබමින් “නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව දැන ගැනීමට ලැබීම ගැන මම අතිශයින් කනගාටු වෙමි. නේපාල ජනතාවට ශෝකය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකික ජනතාව සමඟ එක් වෙමි.” යනුවෙන් සඳහන් කර ඇත. ඊට අමතරව විදේශ අමාත්‍ය විජිත හේරත් නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් අමතා ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය පළ කර තිබේ.










