ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙපළක් අතර හමුවක්…

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙපළක් අතර හමුවක්…

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙපලක් වන ප්‍රකාෂ් කරත් හා බ්‍රින්දා කරත් අතර විශේෂ හමුවක් පසුගිය 27 වනදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායකද එක්ව සිටියේය.

ප්‍රකාෂ් කරත් යනු 2005-2015 අතර කාලය තුළ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ අයෙකු වන අතර 2025 වර්ෂය දක්වා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නායකයෙකි. ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් සීතාරාම් යේචුරිගේ අභාවයෙන් පසු 2025 අප්‍රේල් මස දක්වා පක්ෂයේ අන්තර්කාලීන සම්බන්ධීකාරක ලෙස වගකීම දරනු ලැබුවේද ප්‍රකාශ් කරත් විසිනි. බ්‍රින්දා කරත් යනු 1993 සිට 2004 වර්ෂය දක්වා සමස්ත ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී කාන්තා සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කර ඇති නායිකාවකි. ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පත්වූ ප්‍රථම කාන්තාව වන්නේද ඇයයි.

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ශ්‍රී ලංකාවේ බලයට පැමිණීම සම්බන්ධයෙන්ද රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරමින් ජනතාවගේ සුබසාධනයට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

වතු ආශ්‍රිත වැඩකරන ජනතාවට ආණ්ඩුවේ මැදිහත්වීම මත වැටුප් වැඩිකිරීමට හැකිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

යහපත් දේශපාලන භාවිතයක් ඇති කරමින් වංචා දූෂණ ඉවත් කිරීම හා වරප්‍රසාද මත පදනම් වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්