ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ‍්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට, ලංකාව දැනටමත් ප‍්‍රමාදයි… – නීතිඥ අකලංක උක්වත්ත

ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ‍්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට, ලංකාව දැනටමත් ප‍්‍රමාදයි… – නීතිඥ අකලංක උක්වත්ත

ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සමග බලන විට, ලංකාව දැනටමත් ප්‍රමාද යැයි නීතිඥ අකලංක උක්වත්ත අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනවරමේ නීතිඥයෝ සංවිධානය විසින් ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ අකලංක උක්වත්ත,

“ජනවරමේ නීතිඥයෝ ලෙස අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ, 2024 මේ රටේ ජනතාව ලබාදුන් ජන වරම කුමක්ද, ඒ ජනවරමට අනුගතව වර්තමාන ආණ්ඩුව කෙසේ කටයුතු කරනවාද, ව්‍යවස්ථා සංශෝධනය ඊට අනුරූපීද යන්න පැහැදිලි කිරීමටයි.

වර්තමාන ජනාධිපතිතුමාටත් පාර්ලිමේන්තුවේ 159ක මන්ත්‍රිවරුන් වෙතත් ජනතාව වරමක් ලබා දුන්නා. මේ ජන වරමේ සුවිශේෂී සහ සියුම් හරය වී තිබෙන්නේ අපරාධ රාජ්‍යයක් ලෙස පවතින අපේ රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමයි. දූෂණය, මත් ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ නිසි අධිකරණ ක්‍රියාවලියක් තුළ විභාග කරමින් වරදකරුවන්ට දඬුවම් පැමිණ වීමයි. ජනවරමේ අභිප්‍රාය තවදුරටත් සක්‍රීය කිරීම සඳහා ආණ්ඩුව මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් වඩාත් හොඳින් ජනතා අපේක්ෂා ඉටුකරන්න සැලසුම්කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(V) ව්‍යවස්ථාව අනුව අභියාචනාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස් සීමාව 63 සිට 65 දක්වාත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස් සීමාව 65 සිට 67 දක්වාත් ඉහළ දැමීමේ යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර ගත්තා. ඒ වගේම අගවිනිසුරුතුමාගේ වයස් සීමාව 67 හෝ එම ධුරයට පත්වී උපරිම අවුරුදු හයක සීමාවක් බවට සංශෝධනය කරන්න යෝජනා කර තිබෙනවා.

ඊට අමතරව 137 ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කරමින් අභියාචනාධිකරණයේ විනිශ්චය ආසන ප්‍රමාණය 25 දක්වා ඉහළ දැමීමටත් යෝජනා කර තිබෙනවා. ජන වරමේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට අදාළව ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීම සඳහා ජන වරමේ නීතිඥයෝ හැටියට අපි එකතුවී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනයේදී අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය ආසන ප්‍රමාණය වැඩි කතා බහක් නැතිවම ඉහළ දැම්මා. ජනතාව සඳහා යුක්තිය පසිඳලීම ජනතාවට පෙනෙන ආකාරයෙන් ශක්තිමත් කිරීමට අවුරුදු 46ක් පැරණි 107(V) වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න සූදානම් වෙනවා.

ලෝකයේ වෙනත් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ගෙවී ගිය කාලය තුළ ඉහළ දමා තිබෙනවා.  ඕස්ට්‍රේලියාව 70යි. කැනඩාව 75යි. බ්‍රසීලය 75යි. ඩෙන්මාර්කය 73යි. ඇමෙරිකාව වයස් සීමාවක් හඳුන්වා දී නැහැ. අයිස්ලන්තයේ 70යි. ජපානයේ 70යි. ස්වීඩනයේ 69යි. ස්විස්ටර්ලන්තයේ 68යි. ආදී වශයෙන් ප්‍රවණතාවක් පවතිනවා. ලෝකයේ සිටි වයස්ගතම විනිශ්චයකාරවරයා වශයෙන් හඳුන්වන ඇමෙරිකානු ජාතික බොලිවර් වෙන්ඩර්හෝම් අත්දැකීම් සහිත විනිශ්චයකාරවරුන් තවදුරටත් සේවයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත වයස් සීමාව ඉහළ මට්ටමක පැවතිය යුතු බව පවසා තිබෙනවා. බ්‍රිතාන්‍යයේ විශ්‍රාම වයස් සීමාව අවුරුද් 75ක් ලෙස පනවන්නේ 1959දීයි. ඊට පෙර සීමාවක් තිබුණේ නැහැ. නමුත් 1993දී එය නැවත 70 දක්වා පහත දමනවා. නැවත අවුරුදු 27කට පස්සේ 2022 වර්ෂයේ මාර්තු මාසයේදී 75 දක්වා වැඩි කරනවා. මේ වැඩි කිරීමට සුවිශේෂී මැදිහත් වුණු රොබට් බුක්ලන්ඩ් කියන නීති විශාරදයා කරුණු පැහැදිලි කළා. ඔහු කීවේ අපගේ විනිශ්චයකාරවරුන්ගේ සහ මහේස්ත‍්‍රාත්වරුන්ගේ සහ මරණ පරීක්ෂකවරුන්ගේ සේවය විශිෂ්ටත්වය ප්‍රවීණත්වය සහ ස්වාධීනත්වය ගැන ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ ඔවුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීම මගින් වටිනා අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නා නිසා බවයි.

දකුණු අප්‍රිකාවේ 1910 වන විට වයස් සීමාවක් පනවා තිබුණේ නැහැ. 1989දී අවුරුදු 70ක සීමාව පනවනවා, ඒ වගේම උපරිම ධුර කාලය අවුරුදු 12ක කාල සීමාවකුත් පනවනවා. තවත් පැත්තකින් අවුරුදු 70 වන විට උපරිම ධුර කාලය අවුරුදු 12 සම්පූර්ණ කර නොතිබුණොත් අවුරුදු 75ක් දක්වා සිටීමේ හැකියාවක් ලබා දී තිබෙනවා. ප්‍රංශයේ ප‍්‍රාන්ස්වා මිතරෝන් ජනාධිපතිවරයා 1982දී රජයේ සේවයේ විශ‍්‍රාම වයස් සීමාව අවුරුදු 65 සිට 60 දක්වා අඩු කළත්, අධිකරණ විනිසුරුවැන්ගේ වයස් සීමාව වෙනස් කළේ නැහැ. 2010 දී අවුරුදු 67 දක්වා දීර්ඝ කළා. නමුත් ඉන් පසුව ප්‍රධාන විනිශ්චයකාරවරයාගේ වයස අවුරුදු 68 දක්වා ඉහළ දැම්මා. මම මේ උදාහරණ කීවේ, ලෝකයේ අනෙක් රටවල අත්දැකීම් අනුව යමින් ලංකාව මේ නැඹුරුව ගන්න දැනටමත් ප්‍රමාද වී තිබෙන බව පැහැදිලි වෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ලබා දීමෙන් පසුව මේ විශ්‍රාම වයස් දිගුව ජන වරමේ අවශ්‍යතාවක් බව පැහැදිලිව දකිනවා. මේ වයස් සීමා ඉහළ දැමීම ප්‍රාථමික අධිකරණවල විනිසුරුවරුන්ටත් අදාළ වන පරිදි ”අධිකරණ සේවා පනත” සංශෝධනය කරන්න කටයුතු කරනවා. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ වයස් සීමාව අවුරුදු 61 සිට 63 දක්වාත් මහේස්ත‍්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුන්ගේ වයස් සීමාව 60 සිට 62 දක්වා ගෙන ඒමට අපේක්ෂා කරනවා. උපරිම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මහාධිකරණ සහ ප්‍රාථමික අධිකරණවල විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කරන්න අධිකරණ සේවා පනත සංශෝධනය කර සමාන්තරව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් හට ඉහළ අධිකරණවලට පත්වීමේදී වයස් සීමාව බාධාවක් නොවී සාධාරණව ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවගේ විශාල අනුමැතියක් තිබෙන බව මේ වන විටත් පැහැදිලි වී තිබෙනවා.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්