සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට මාස 18ක සිර දඬුවම්

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට මාස 18ක සිර දඬුවම්

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හ‍ට වසර එකහමාරක සිර දඬුවමක් නියම කිරීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි තීන්දු කර තිබේ.

ඒ, අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවති නඩුව විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි විසින් චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකටත්, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වැරදිකරු බවට තීරණය කර ඇත.

නඩුව අතරතුරු රියදුරු බන්දුල රත්නායක මිය ගොස් ඇති අතර ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක්ද නියම කර තිබේ.

2019 පෙබරවාරි 10 හෝ ඒ ආසන්න දිනක දී, බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ අසළින් ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, චමින්ද විජේසිරිගේ ජීප් රථය පොලිස් ජීප් රථයකින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඔහු උරණ වී ඇති අතර, ඒ අනුව තමන් පසු කරගෙන ගිය ජීප් රථයේ මඟ හරස් කර එහි සිටි පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදු කර ඇත.

ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවටද මුලින් සඳහන් වුවත් නඩුව ගොනුකරන විට එම චෝදනාව ඉදිරිපත් කර නොතිබිණි.

Facebook
Twitter
LinkedIn