චරිත්ට රඛිතට දැඩි කොන්දේසිමත ඇප… විදෙස්ගතවීමත් තහනම්…

චරිත්ට රඛිතට දැඩි කොන්දේසිමත ඇප… විදෙස්ගතවීමත් තහනම්…

නදුන් චින්තක නොහොත් හරක්කටාගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සිංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ හිටපු ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ.

ඉකුත් නඩු දිනයේ සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, අද දින ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කර ඇත්තේ, එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසය.

ශරීර ඇපකරුවන් ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපළ පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්‍රාත් කළ නියෝගයේ සඳහන් වී ඇති අතර සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර තිබේ. ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර ඇත.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 08 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 50ක් ඉල්ලා එය කෝටි 20ක් දක්වා අඩු කර ඉන් කෝටි දොළහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn