පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක හා බීට්ටු කාර්යාලවල කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව රථවාහන තොගයක් නිල වශයෙන් භාරදීම අද (27) බත්තරමුල්ලේ පිහිටි දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කළේය.
පරිසර ඇමති වෛද්‍ය දම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව පැවැත්විණි.
අලි-මිනිස් ගැටුම් සහ වන හානි වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශවල අඩවි වන කාර්යාල සඳහා මෙම වාහන ලබාදීමට විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර වන අලි කළමනාකරණ රාජකාරි සහ අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා මෙම වාහන යොදාගැනීමට නියමිතය.
මෙම අවස්ථාවේදී ඩබල් කැබ් රථ 16ක් සහ යතුරුපැදි 40ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න වෙත භාර දී තිබේ.
යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂ බුද්ධික සිංහගේ විසින් අදාළ කැබ් රථ ද ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ලේ විසින් යතුරුපැදි තොගය ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි වෙත නිල වශයෙන් භාරදීම සිදු කර ඇත.
මෙම අත්‍යවශ්‍ය වාහන මිලදී ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඇමති වෛද්‍ය දම්මික පටබැඳි විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඒ අනුව සම්පූර්ණ වාහන 294ක් මිලදී ගැනීමට අනුමැතිය හිමිව තිබුණි.
ඊට ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක්, යතුරුපැදි 181ක්, ට්‍රැක්ටර් 09ක්, අත් ට්‍රැක්ටර් 01ක් සහ (Crew) කැබ් රථ 03ක් අයත් වේ.
ඉතිරි යතුරුපැදි සහ රථවාහන, අදාළ අවශ්‍යතාවයන් අනුව ඉදිරියේදී ප්‍රාදේශීය වනජීවී කාර්යාල වෙත බෙදා දීමට නියමිතය.
මීට පෙර පසුගිය ජුනි 20 වන දින, ඩිමෝ (DIMO) ආයතනය මගින් ආනයනය කරන ලද ට්‍රැක්ටර් රථ 09ක් ලබාදී තිබිණි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින මානව සහ භෞතික සම්පත් හිඟය මඟහරවා ගැනීම සඳහා වත්මන් රජය ගෙන ඇති ප්‍රධානතම වැඩපිළිවෙළක් ලෙස මෙම වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය හැඳින්විය හැකිය.














