දේශපාලන බලයට අධිකරණය යටත් කිරීමේ ඉතිහාසය පිළිබඳව හිටපු කීර්තිමත් අගවිනිසුරුවරයෙකු වූ නෙවිල් සමරකෝන් කරුණු රැසක් හෙළි කර තිබේ.
1984 දී ජේආර් ජයවර්ධන පාලන සමයේ දී අධිකරණයට සිදු කරන ලද දේශපාලන බලපෑම නිසා එම අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන එනු ලැබීය. හිටපු අගවිනිසුරුවරයා එම දේශපාලන බලපෑම් පිළිබඳව හෙළි කළ ආකාරය 2025 ජනවාරි 15 වෙනි දින ලංකාදීප වෙබ් අඩවියේ පළ කර තිබූ ලිපියකින් උපුටා ගෙන පහත දැක්වේ.
‘‘පසුගිය වසර තුළ සිංහල සහ දෙමළ ඉංග්‍රීසි ලිපිකරු ලඝු ලේඛන යතුරු ලේඛක හා පොත් බඳින්නන්ගේ තනතුරු පුරප්පාඩු 492ක් පිරැවීමට අපි හැකි සෑම ප්‍රයත්නයක්ම දැරුවා. සේවකයන් බඳවා ගත යුත්තේ රැකියා බැංකුව නමින් හැඳින්වෙන තැනකින් යැයි නියෝගයක් පසුගිය වසරේ දෙසැම්බර් මාසය දක්වා අපට පනවා තිබුණා. එහෙත් ඔවුන්ගේ අඩක් පමණ ලියන්නට හෝ ටයිප් කරන්නට හෝ නොදත් තමන් ඉල්ලුම් කළ තනතුරුවලට නුසුදුස්සෝයි. ඔවුන්ගෙන් සමහරු මන්ත්‍රීවරුන්ගෙන් ලියුම් රැගෙන ආවා. එම ලියුම් කුණු කූඩයට ගියා. මේ ක්‍රමය අධිකරණයට නුසුදුසු බවත් සුදුස්සන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිසමට අවසර තිබිය යුතු බවත් ආණ්ඩුවට කියන්නට මට සිදුවුණා. රැකියා බැංකුව මේ රටේ තරුණයන්ට කළ ප්‍රෝඩාවකි. එය ලේ බැංකුව වැනි විය. පරිත්‍යාගශීලීන් එනතුරු අප බලා සිටිය යුතුය.










