සලේගේ පෙත්සම – අධිකරණය තුළ දී ඔහුම හිරවෙයි

සලේගේ පෙත්සම – අධිකරණය තුළ දී ඔහුම හිරවෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්තඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම ඊයේ (27) තව දුරටත් විභාගයට ගන්නා ලදී.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂී හේරත් පළමු වරට මූලික විරෝධතා ගොනු කරනු ලැබීය. එම මූලික විරෝධතාවලදී පෙන්වා දී තිබුණේ පෙත්සම්කාර පාර්ශවය පිරිසිදු දෑතින් අධිකරණය ඉදිරියට පැමිණ නොමැති බව ය. පෙත්සමේ අඩංගු කරුණු උපුටා දක්වමින් අඩක් සත්‍ය කරුණු මෙන් ම, කරුණු වසන් කර ඇති ආකාරය පෙන්වා දී තිබේ. එමෙන් ම, සුරේෂ් සලේ සතුව තිබූ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබුණ ද එය බාර දී නොමැති බව අධිකරණයේදී හෙළි කරනු ලැබීය.

එමෙන් ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධ ආසන්න දිනවල ඔහු ඉන්දියාව තුළ රැඳී සිටි බවට කරුණු ඉදිරිපත් කර තිබුණ ද අවස්ථා කිහිපයක දී ඉන්දියාවෙන් බැහැරව ගොස් ඇති බව විදේශ ගමන් බලපත්‍රයේ ඉන්දීය නිල මුද්‍රාව උපුටා දක්වමින් කරුණු හෙළි කළාය. මෙවැනි මූලික අවශ්‍යතා හෝ අධිකරණය ඉදිරියේ සනාථ කර නැති මෙම පෙත්සම ඉවත දමන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn