ඒකාධිපති බල වියරුවෙන් ක්‍රියා කළ ජේආර් ජයවර්ධන පාලන සමයේ එවකට සිටි අග විනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ආ එක්සත් ජාතික පක්ෂයේ කල්ලියත් හිටපු අගවිනිසුරුවරියක වන ශිරානි බණ්ඩාරනායක එම ධුරයෙන් පහ කළ එවැනි ම බල වියරුවකින් වැඩ කළ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිල කල්ලියත් එම අඳුරු අතීතය සිහි ගන්වමින් ඒකාබද්ධ වී සිටිති.
තමන්ට අවශ්‍ය පරිදි අධිකරණය මෙහෙයවා ගත නොහැකි වීමෙන් වියරු වැටුණු ජේආර් ජයවර්ධන මෙන් ම, මහින්ද රාජපක්ෂ ද අග විනිසුරුවරුන්ට එරෙහිව දෝෂාභියෝග චෝදනා ගෙන එනු ලැබීය. ජේආර් ජයවර්ධන පාලන සමයේ නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගය ගෙන ආ අවස්ථාවේ එම අගවිනිසුරුවරයා ධුරයෙන් ඉල්ලා අස්විය. මහින්ද රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ගෙනවිත් පාර්ලිමේන්තුවේ සිටි ඔහුගේ නියෝජිත කල්ලියක් යොදා ගනිමින් එම දෝෂාභියෝග යෝජනාව විභාග කර ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් පළවා හරිනු ලැබීය.
එදා ජේආර් ජයවර්ධනගේ පාලන සමයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ වර්තමානය නියෝජනය කරමින් සිටින අතර, එවකට එයට එරෙහිව සිටි දිනේෂ් ගුණවර්ධන ශිරානි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමට පෙරමුණ ගෙන සිටියේය. අධිකරණයේ ස්වාධීනත්වය ගැන ප්‍රචාරය කරමින් මෙම දෙපිරිස ම අද එකට එකතු වී සිටින්නේ සියළුම අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම පිළිබඳව වත්මන් ආණ්ඩුව සලකා බලමින් සිටින මොහොතක ය.










