අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා – විජිත හේරත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා – විජිත හේරත්

වඩාත් ශක්තිමත් සහ නූතන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිහි කිරීම රජයේ මූලික අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් පැවසීය.

ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිණි.

ප්‍රශ්නගත 06 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා ඇතැම් පිරිස් අගමැති ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රකාශ රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණයක් වන අතර මෙවැනි ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෑත ඉතිහාසයේ සිදු වී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. අධ්‍යාපන විශේෂඥයින්ගේ මතය අනුව වසර 08කට වරක්වත් මෙවැනි ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වුවද මෙරට අධ්‍යාපන පද්ධතියේ එවැනි ක්‍රියාවලියක් පසුගිය කාලය තුළ සිදු වී නොමැති බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් පෙන්වා දුන්නේය.

මෙම ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට පෙර සියලු පාර්ශව දැනුවත් කර ඇති අතර, පක්ෂ සහ විපක්ෂ නියෝජිතයින් බොහෝ දෙනාගේ මතය වූයේ හැකි ඉක්මනින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව බවද ඔහු සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර මුද්‍රණය අවසන් කර ඇති 06 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදු වෙමින් පවතින බවත්, එය 06 ශ්‍රේණියට ඇතුළත් නොවිය යුතු අන්තර්ගතයක් බව හඳුනාගෙන එම කොටස ඉවත් කිරීමට රජය කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවත්, රජයක් ලෙස ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම භාර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බවද ඔහු පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයද 06 ශ්‍රේණියේ මොඩියුලය සම්බන්ධයෙන් අභ්‍යන්තර වශයෙන් පරීක්ෂණ සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇති අතර හඳුනාගත් වැරදි නිවැරදි කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.

තර්කානුකූල, බුද්ධිමත් සහ නූතන සමාජයට ගැලපෙන දරු පරපුරක් බිහි කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වන අතර ඒ සඳහා රජය සම්පූර්ණයෙන්ම බැඳී සිටින බවද දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්