අපේ අභියෝගය මනුෂ්‍යත්වය ගොඩනැඟීමයි – ගල්කන්දේ ධම්මානන්ද හිමි

අපේ අභියෝගය මනුෂ්‍යත්වය ගොඩනැඟීමයි – ගල්කන්දේ ධම්මානන්ද හිමි

අන්තවාදි මත ඇතුළු බලය වෙනුවෙන් ජනතාව බෙදා වෙන් කරන පටු ආකල්ප මඟින් රටේ භෞතික මෙන්ම මානව සංවර්ධනයට සිදු කර ඇති බලපෑම අතිවිශාලය. දීර්ඝ කාලයක් තිස්සේ මේ මතවල බලපෑම සහ ඒවායේ විනාශය අත්විඳි රටකට, එයින් ගොඩයා හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් වල්පොළ රාහුල ආයතනයේ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමඟ ‘සිළුමිණ’ පුවත්පතට මාධ්‍යවේදී ශාලික විමලසේන සිදු කළ සාකච්ඡාව මෙලෙස පහතින් උපුටා දක්වමු.

සියලු ආකාරයේ අන්තවාදයන් කාලයක් තිස්සේ බලය වෙනුවෙන් අපේ රටට විශාල විනාශයක් කළා. තවදුරටත් මේ පාරේ යනවා වෙනුවට, අප දැන්වත් වෙනස් විය යුතුයි. හාමුදුරුවනේ, අප කොතැනින්ද පටන්ගන්න ඕනෑ?

ඒක ලොකු ගමනක්. කාලයක් තිස්සෙ සියල්ල සිදු වුණේ ඔබ කියපු විදිහට. පුංචි කාලෙනෙ අපි ලෝකය දකින්න පටන්ගන්නෙ. පාසල් අධ්‍යාපනය, විෂය නිර්දේශවල උගන්වන දේවල්, මේවගෙන් අපිට මිනිස්සු ගැන උගන්වන දේවල්වලින් ගොඩනැඟෙන දේවල්. ප්‍රවෘත්ති අහනකොටත්, වර්තමානයෙදි නම් සමාජ මාධ්‍ය අපට අනෙකා මුණගස්වනවා. අනෙක් පැත්තෙන් අපේ සංවේදීකමේ තියෙන දුර්වලතා. මේ සියල්ල විසින් අපේ කට්ටිය මේගොල්ලො, අපේ නොවන කට්ටිය මේගොල්ලො කියලා එකක් හැදිලා තියෙනවා.

ළඟදි පාණදුරේ තිබුණු වැඩසටහනකට මම ගියා. ඒක යම් උදවු අවශ්‍ය පිරිස් සහ උදවු කරන පිරිස් එකතු වුණු තැනක්. මට කිවුවා පන්සිල් දෙන්න කියලා. මම බැලුවාම එතැන එක් කාන්තාවක් හිස වහගෙන හිටියා. එතකොට මම දන්නවා මෙතැන මුස්ලිම් කෙනෙක් ඉන්නවා කියලා. මං ඇහුවා මෙතැන ඉන්න සියලු දෙනා බෞද්ධ අයද කියලා. එතකොට කිවුවා, මුස්ලිම් කීපදෙනෙක් සහ දෙමළ කීපදෙනෙක් ඉන්නවා, අනෙක් අය බෞද්ධ කියලා. අපි කවුරුත් විනාඩි දෙකක් නිහඬව ඉඳලා, අපි අපේ ආගම් සිහි කරලා වැඩසටහන පටන්ගමු කියලා මං කිවුවා. මට වඩා වෙනස් කෙනෙක් ඉන්න, වෙනත් විශ්වාස සහිත කෙනෙක් ඉන්න තැනකදි එයත් ඇතුළත් වෙන විදිහට කොහොමද ඒ වැඩේ ගොඩනඟන්නෙ කියන එක අපට හුරු වෙලා නෑ. අපි අතරම ඉන්න කෙනෙක් ඉතාම සුළු මොහොතකදි එතැන, ඒ වැඩෙන් පිටමං වෙනවා කියන එක අපි දන්නෙ නෑ; අපි ඒකට සංවේදි නෑ. ඒකට හේතුව පොඩි කාලෙ ඉඳලම අපි ඒකට සංවේදි වෙලා නෑ, සංවේදි කරලා නෑ. එතැන තමයි මං හිතන්නෙ අපි පටන්ගන්න ඕනෑ තැන.

කෙනකුගෙ ආකල්ප ගොඩනඟන්න මූලිකව බලපාන තැනක් තමයි පාසල. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය, ගුරුවරුන් ඇතුළු ඒ සමස්තය මේකට අදාළ විදිහට සකස් කළ යුත්තේ කොහොමද?

විෂය නිර්දේශවලත් වෙනස් වෙන්න තිබෙනවා. ඊටත් වඩා අපේ ආකෘතිවල ප්‍රශ්නයක් තිබෙනවා. ආගම පොඩි කාලෙ ඉඳලා උගන්වනවා, දරුවන්, අනාගත පරපුර සදාචාරවත් කරන්න. මෙහෙම හිතන්න: පාසලක්, විශ්වවිද්‍යාලයක්, රජයේ ආයතනයක් තුළට ආගමික සංකේත ගේන්න ඕනෑද? ඒවා තියන්න, ඒවට නිසි ගෞරවය ලබාදෙන්න ආගමික ස්ථාන තිබෙනවා. අප යන යන හැම තැනකම ආගමික සංකේත හදාගන්න ඕනෑද. ඇත්තටම අපි පොදු විදිහට ඉන්න දන්නෙ නෑ. ඒක නිසා මං හිතන්නෙ විෂය නිර්දේශවලට යන්න කලින් පොදු අවකාශ, පාසල් අවකාශ වෙනස් කිරීම කියන තැන ඉඳලම වෙනස් වෙන්න ඕනෑ. ඒ හැම තැනකම මම මුලින් කියපු අසංවේදිකම තිබෙනවා.

අපි ඔක්කොම එක රටක මිනිස්සු. අපි ගෙදර ගමු. ගෙදර අය අතර සමානකමක් දැනෙනව නෙ. ගෙදරට පිටින් එන කෙනෙකුට කාලයක් තිස්සෙම එතැන ආගන්තුක බවක් දැනෙනව නම්, එතැන ප්‍රශ්නයක් තියෙනවා. අපේ අවකාශය අපි ඔක්කොටම අයිතියි. ඒක අංක එක. ඊටපස්සෙ විෂය නිර්දේශවලට යන්න පුළුවන්.

අනෙක් පැත්තෙන් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළත් ආපහු ඒ අධ්‍යාපනය දෙන්නෙ හිටපු ගුරුවරුමනෙ. ඒක නිසා මේක අමාරු කාර්යයක්. බෞද්ධ ආදර්ශයක් විදිහට ගත්තොත් ඒක මෙහෙම කියන්න පුළුවන්. බොර වෙච්ච, අවර්ණ වෙච්ච ජල බඳුනක් තියෙනවා. ඒකට නොනවත්වාම පිරිසිදු ජලය එකතු කරන්න. එතකොට ටිකින් ටික අපිරිසිදු ජලය ඉවත් වෙලා පිරිසුදු ජල බඳුනක් බවට පත් වෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි.

එක්දාස් නවසිය හතළිස් අටේ ඉඳලා මේ වෙනකම් කාලය ගත්තාම අපි සාමකාමිව ඉන්න මුළු කාලය ඉතා අඩුයි. එක කාලයක මිනිස් ඝාතන වෙනවා. ආපහු මොකුත් නැතුව නිහඬව යනවා. ඒවායින් මිනිස් මනසට විශාල වශයෙන් හානි වෙනවා; තුවාල වෙනවා. නැවත නැවත ලේ වැගිරෙන සමාජයක තත්ත්වය බරපතළයි. හැත්තෑ එකේ ලේ වැගිරීම් දැකපු නැති කෙනෙක්ට ඒ හානිය මවුපියන් හරහා එන්න පුළුවන්; කියවන ලිපියක් හරහා එන්න පුළුවන්; අසල්වැසියන්ගේ අත්දැකීම් එක්ක එන්න පුළුවන්. ඒකයි මං කියන්නේ මේක ඉතා අපිරිසුදු ජල බඳුනක් කියලා. එහෙම ගත්තහම මේක කොතැනින් පටන් ගන්නද කියන ප්‍රශ්නය එනවා.

ඒත් මේක කොහොම හරි කළ යුතුයි. අත්නොහැර මේකට පිරිසුදු ජලය එකතු කළ යුතුයි. නිදහස ලබන කොට ආසියාකරයේ දියුණුතම රාජ්‍යය බවට පත් වීමේ විභවය තිබුණු රට මෙතැන්ට ආවෙ ඇයි කියන කාරණය ගත්තහම ඒකට අරයට මෙයාට ඇඟිල්ල දික් කරලා තේරුමක් නෑ. අපි ඔක්කොම එකතු වෙලා මේක විසඳගන්න ඕනෑ. පිටතින් එන කවුරුත් මේක විසඳන්නෙ නෑ. විශේෂයෙන්ම මෙතැනදි මාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත්. අවුලක් ඇති කරන්නම වැඩ කරන සමහර මාධ්‍යට තිෙබනවා. හැබැයි ඒ අයත් අර විදියට ම තුවාල ලත් අය. ඒකත් මතක තබාගත යුතුයි.

අන්තවාදි මත වෙනුවට මානුෂීය මත, සංවේදි බව ඇති කිරීමේ වගකීම ප්‍රධාන වශයෙන් පැවරෙන කණ්ඩායමක් තමයි, ආගමික කණ්ඩායම්. ඒ වගකීම ඉටු විය යුත්තේ කොයි විදිහට ද?

ඒවා ඇතුළෙ විශාල පරිවර්තනයන් වෙන්න ඕනෑ. අපේ ශාස්තෘවරුන් පණිවිඩයක් අරගෙනයි ආවේ. ඒගොල්ලො කතා කළේ ඒ සමාජයේ හිටපු විවිධ ඇදහීම් තිබුණු මිනිස්සුන්ට. ඒ අය අතරින් සමහරු ඒක බාරගත්තා. සමහරු ඒක බාරගත්තෙ නෑ. එහෙත් අපි කාලයත් එක්ක මේ පණිවිඩ මත පදනම් වුණු විවිධ ආයතන හදාගෙන තිබෙනවා. බෞද්ධ හරධර්ම, ඉස්ලාම් හරධර්ම, කතෝලික හරධර්ම මේවා ප්‍රකාශ කරන ආකාර වෙනස් වෙන්න පුළුවන්, ඒත් මේවගෙ තියෙනවා නේද පොදු දේවල්. මේවා ඇතුළෙ තිබෙනවා, ආදරය, කරුණාව වගේ පොදු දේවල්. පොඩි කාලෙ ඉඳලා මිනිස්සු බෙදලා, ලොකු වුණාම සමගියෙන් ඉන්න කියන එක සාර්ථකද කියන ප්‍රශ්නය තියෙනවා. එතැනදි ආගමික ආයතනවලට පැවරෙන වගකීම ඉතාම බැරෑරුම්. කිසිම ආගමකට තවත් ආගමකට හානි කරන්න බෑ. වෛරය පතුරුවන්න බෑ, ඒවා නොකළ යුතුයි. ආගමික මූලයන්වලට ගියහම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දීම ගැන අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. බුදුදහමෙ මෛත්‍රිය ගැන කතා කරනවා. කිතුනු දහමෙ අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන කතා කරනවා. ඒ කියන්නෙ අනෙක් සියලු දෙනා ගැන කතා කරනවා. එතැනින් අපට හොඳ ආරම්භයක් ගන්න පුළුවන්.

අපි කොයි තරම් කතා කළත් ආගමික නායකයන්ගෙන් ඇතැමුන් මේ මතවාද දරුණු විදිහට පෝෂණය කරනවා. ඒක හැම ආගමකට ම පොදුයි…

ඒක තමයි තියෙන බරපතළම ගැටලුව. බුදු දහම ගන්න: එහි තිබෙන ඉගැන්වීම් මේ ජාතිවාදි බලවේගවලට මුහුණට මුහුණ මුණ ගැස්සුවොත් ඔවුන්ට උත්තර නැති වෙනවා. ඔවුන්ට මුහුණ දෙන්න බෑ. උපත මත කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නෙ නෑ, පැවිදි සංස්ථාව ගොඩනැංවීමේ මූලික කාරණය බෙදීම් නෑ කියන එක. ඒවා මේ ඇතැම් කණ්ඩායම් පෙන්වන ආගමික කාරණාවලට වඩා සම්පූර්ණ වෙනස්. හැබැයි මේක අභියෝගයට ලක් කරන්න පුළුවන් නම්: ඒක තමයි මේ වෙලාවේ කළ යුතුම දේ. ආගම් නියෝජනය කරන තරුණ පිරිස් සාධනීය අදහස්වල ඉන්නවා. අපි දිගටම උත්සාහ කරන්න ඕනෑ. එතකොට තමයි කොයි වෙලාවෙ හරි මේක දැල්වෙන්නෙ. ඇත්තටම ‘සංහිඳියාව’ කියන වචනය මේ වැඩේදි පාවිච්චි කරන්න මම එච්චර කැමැති නෑ. මම කැමැති ‘සුවපත් වීම’ කියන වචනය පාවිච්චි කරන්න. ඒක තමයි අපට ආගන්තුක නැති වචනය. කෙනෙක් හාමුදුරු නමකට වැන්දාම කියන්නෙ ‘සුවපත් වේවා’ කියලා.

ඒ කියන්නෙ ශරීරය ලෙඩකින් සුවපත් වෙන්න කියලා නෙමෙයි නෙ. ඒ කතා කරන්නෙ මානසික සුවය ගැන. තමන් සුවපත් වෙලා අනුන් ව සුවපත් කිරීම ගැනයි බුදු දහමේ කතා කරන්නෙ. කරණීයමෙත්ත සූත්‍රයෙ යන්තං සන්තං පදං කියන්නෙ ශාන්ත පදය කියන එක. මෙතැන තියෙන්නෙ සුවපත් වීමේ ප්‍රමාණය මත ප්‍රශ්නයක්. එක එක්කෙනාගෙ තුවාලවල ප්‍රමාණය වෙනස්. ඒ වගේ ම සුවපත් වීමේ ප්‍රමාණයත් වෙනස්. මෙතැනදි තවත් කාරණයක් කියන්න ඕනෙ. වෛද්‍යවරයා කොයිතරම් බරපතළ ලෙඩකින් පීඩා වින්දත්, එයා දෙන බෙහෙතෙන් ලෙඩ්ඩු සනීප වෙනවා. ඒ වගේ තමයි ආගමික නායකයනුත්. ඒ ගොල්ලොත් තුවාල සහිත තමයි. ඒත් යමක් කරන්න පුළුවන් නම් වඩා වැදගත් වනවා.

සමාජයේ මත හැඩගස්වන්න තීරණාත්මක මැදිහත් වීමක් කළ යුතු විද්වතුන්ගේ නිහැඬියාව මේ සමහර තැන්වලදි කැපීපේනවා. ඔබ වහන්සේත් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස දීර්ඝ කාලයක් මේ කුලකය ඇතුළේ වැඩ කළා. ඇයි එහෙම වෙලා තියෙන්නෙ?

1983 වගේ කාලවලදි සිදු වුණු සිදුවීම් දැකපු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මට මගේ ගුරුවරුන් වුණා. 2013 වගේ කාලෙ ආපහු අපේ රටේ බෙදීම් නිර්මාණය කරන දේවල් සිද්ධ වෙන කොට, මං හරි උනන්දුවෙන් මගේ ගුරුවරු දිහා බැලුවා.

දැන් ඒගොල්ලො කතා කරයි කියලා. 83දි නිහඬව හිටියට, ඒ අත්දැකීම් තියෙන අය දැන් කතා කරයි කියලා මං හිතුවා. එහෙත් ඒගොල්ලො කතා කළේ නෑ. ඒක මං විශාල වශයෙන් කඩාවැටුණු තැනක්. පිළිම බිඳවැටෙන හැටි මං අත්දැක්කා. කෙනෙක් අවුරුදු සීයක් ජීවත් වුණත්, අවශ්‍ය තැනදි නිහඬයි නම් ඔහු මළවුන් හා සමානයි කියනවා. මං හිතනවා, කවුරුහරි හිතනවා නම් තමන් විද්වතෙක් කියලා, තමන් මේ සමාජයට යමක් එකතු කරන්න ඕනෙ කියලා, ඒ කිසි කෙනෙකුට මිනිස්සු සාමූහික කිරීම අත්හරින්න බැරි වගකීමක්.

අනාගතය ගොඩනැඟෙමින් තියෙන්නෙ තාක්ෂණික යුගයක. තරුණ පරපුර මේ වෙනකොට ජීවත් වෙන්නෙ එතැන. ඒ යුගයෙ මානුෂිකත්වය අභියෝගයට ලක් වීම වළක්වාගන්නෙ කොහොමද? ඔබ වහන්සේ මුලින් කියපු ‘සංවේදි බව’ වර්ධනය කිරීම මේ යුගයේ බරපතළ අභියෝගයක්…

අපි අත්වින්ද ලෝකෙට වඩා සෑහෙන වෙනස්, වේගයෙන් වෙනස් වන, අපට තේරුම්ගන්නත් තරමක් අමාරු ලෝකයක් තමයි ඒක. උදාහරණයකට කෘත්‍රිම බුද්ධිය ගන්න. ඉස්සර අපට ඉගෙනගන්න නම් ගුරුවරු හරිම වැදගත්. අද ඉගෙනගන්න ගුරුවරු ඒ කාලෙ තරම් වැදගත් නෑ. තොරතුරු හොයන්න ඒ කාලෙ වගේ මහන්සි වෙන්න අවශ්‍ය නෑ. හැබැයි ඒ ඔක්කොම තියෙන්නෙ මනුෂ්‍යයත් එක්ක. මං හිතන්නෙ නෑ, කෘත්‍රිම බුද්ධියට මනුෂ්‍යයා ගොඩනගන්න පුළුවන් කියලා. එයා ගොඩනැඟෙන්නෙ මිනිස් සම්බන්ධතා එක්ක.

ලෝකයේ තාක්ෂණය කොයි තරම් දියුණු වුණත්, මනුෂ්‍යයා, මනුෂ්‍යත්වය, ආදරය, කරුණාව හැදෙන එක තමයි වැදගත්ම දේ. එතැනයි ලෝකයේ පැවැත්ම තියෙන්නෙ. අනෙක් කෙනාව දැනෙන්නෙ නැත් නම් අපි යන්ත්‍ර විතරයිනෙ. මං කියන්නෙ අලුත් පරම්පරාව එහෙම සංවේදී නෑ කියන එක නෙමෙයි. තවතවත් ඒ සංවේදි බව වර්ධනය කළ යුතුයි කියන එකයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්