ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ තමරා අබේරත්න නම් නීතීඥවරිය සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්පිතගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නීතීඥවරිය, ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට අධිකරණ භූමියට ඇතුළුවීමට නීතීඥ හැදුනුම්පත්, නීතිඥ කබාය සහ නඩු විධාන සංග්‍රහය පොත, නීතිඥ හැදුනුම්පත් නිර්මාණය කරදී ඊට ඇයගේ අත්සනද යොදා ඇති බවත් වෙඩික්කරුට සහ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට වාහනයේ ගමන් කිරිමේදී නීතිඥවරුන් භාවිතා කරන ස්ටිකර් ආදියද සැකකාර නීතීඥවරිය විසින් සලසා දී ඇති බවත් විමර්ශන මගින් හෙළිවී ඇති බව ද විමර්ශන නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත පදිංචි 52 හැවිරිදි නීතිඥවරියකි.
අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරිය මීට පෙරත් කෙහෙල්බද්දර පද්මේගේ නඩුවලට පෙනී සිට ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව, අධිකරණ නියෝග මත ඇයගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, ඇයගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත් පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැකකාර නීතිඥවරිය ඉකුත් ජුනි මාසයේදී කටුනායක ගුවන් තොටුපොළින් සිංගප්පූරුව හරහා ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවටද අනාවරණය වී ඇති බවද වාර්තා වේ.










