නඩු භාණ්ඩයක් වූ ගිනි අවියක් පිට කළ කළුතර HQI සොයා මෙහෙයුමක්

නඩු භාණ්ඩයක් වූ ගිනි අවියක් පිට කළ කළුතර HQI සොයා මෙහෙයුමක්

නඩු භාණ්ඩ වශයෙන් පොලිස් භාරයේ තිබූ ඇමෙරිකාවේ නිෂ්පාදිතබෝර 12 වර්ගයේ ගිනි අවියක් සිය මිතුරකුට ලබා දීම සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළව කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සොයා විමර්ශන නිලධාරීන් පසුගිය 29 වනදා දහවල් ඔහු පදිංචි හඳපාන්ගොඩ නිවෙසට ගියද ඔහු එම නිවසේ සිට නැති අතර ඔහු නිවෙසෙන් පලා ගොස් ඇතැයි පැවසේ.

ඔහුට අයත් හඳපාන්ගොඩ නිවෙස වසා දමා මොහු අතුරුදන් වී ඇතැයි විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

මෙම නිලධාරීයා සොයා කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇතත් ඔහු සොයා ගැනීමට එම නිලධාරීන්ට මෙතෙක් නොහැකි වී තිබේ.

කළුතර නොගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අදාළ පොලිස් නිලධාරියා විසින් නඩු භාණ්ඩයක් වූ මෙම බෝර ගිනි අවිය ලබාදී තිබූ අතර එය මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ආරක්ෂාව සඳහා කළුතර දකුණ පොලිසියේ අවි ගබඩාවේ තැන්පත් කර තිබූ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියේ අවි ගබඩාව භාරව සිටි සැරයන්වරයාගෙන් ද ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන තිබේ.

කෙසේ වෙතත්, හඳපාන්ගොඩ ප්‍රදේශයේදී මෙම ගිනි අවිය කළුතර නාගොඩ පදිංචි පුද්ගලයාට ලබාදී ඇතැයි හෙළිවී ඇති අතර එම ගිනි අවිය එම පුද්ගලයා ලබා ගන්නා අයුරු සටහන් ඡායාරූප එම පුද්ගලයාගේ දුරකතනයේ තිබී සොයාගෙන ඇතැයි විමර්ශන පවත්වන අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් නොගොඩ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එමෙන් ම, මෙම ගිනි අවිය හඳපාන්ගොඩ සිට කළුතර නාගොඩට රැගෙන පැමිණි වාහන රියැදුරාගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම ගිනි අවිය සමඟ 9mm වර්ගයේ ජීව උණ්ඩ 51, ත්‍රීඑයිට් උණ්ඩ 16ක්ද අතුරුදන්ව තිබූ බව විමර්ශන නිලධාරීහු කියති.

කෙසේ වෙතත්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඇප අයැදුමක් ද ඉදිරිපත් කිරීමට කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇති අතර එහිදී මහෙස්ත්‍රාත් නියෝග කර ඇත්තේ ඇප අයැදුමට එරෙහිව මූලික විරෝධතා ගොනු කරන ලෙසත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට බාධාවක් නැති බවත් ය.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක මේ වනවිට එම තනතුරෙන් ඉවත්කර රත්නපුර පොලිස් බල ප්‍රදේශයට මාරුකර යවා ඇති බවට අනාවරණය වුවද ඔහු මෙතෙක සේවයට වාර්තා කර නැතැයිද වාර්තා වේ.

කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ කමල් කිරිඇල්ලගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග සංජීවගේ මෙහෙය වීම මත වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Facebook
Twitter
LinkedIn