සිරිලිය පසුපස තිදෙනෙක් පන්නයි – ආරක්ෂාවට අවුරුදු 16ක තරුණයෙක් සොයා ගෙන

සිරිලිය පසුපස තිදෙනෙක් පන්නයි – ආරක්ෂාවට අවුරුදු 16ක තරුණයෙක් සොයා ගෙන

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කරුණු හෙළි කළ අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමෙන් ද යට ගැසීමට නොහැකි වූ අපරාධ පරීක්ෂණය මේ වනවිට තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ.

එවකට සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර තාජුඩීන් ඝාතනය නොමඟ යැවීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ. ඔවුන් දෙදෙනා මේ වනවිට ජීවතුන් අතර නොමැත. එම ඝාතනය පිළිබඳව ප්‍රසිද්ධියේ යූටියුබ් නාලිකාවකට අදහස් දැක්වූ අරුණ විදානගමගේ (කජ්ජා) ඝාතනය කරනු ලැබීය.

එසේ වුවත්, එම ඝාතනය හා සම්බන්ධ වී තිබූ ශිරන්ති රාජපක්ෂ භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයින් පිළිබඳව නවතම තොරතුරු හෙළි වී ඇත. එම තොරතුරු හෙළි කළේ අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ වැන්දඹු බිරිඳ විසිනි.

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ එම තොරතුරු හෙළි කිරීමත් සමඟ 16 හැවිරිදි අරුණ විදානගමගේ පුත්‍රයා යොදවා ගෙන වෙනත් ආකාරයක ප්‍රචාරයක් සැලසුම් සහගතව දියත් කර ඇත. එම පුත්‍රයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අරුණ විදානගමගේ මුල් කාලයේ නුගේගොඩ හෙට්ටියාවත්ත බස් රථයේ කොන්දොස්තර ලෙසින් රැකියාවක් කළ බවයි. එම පුත්‍රයාගේ නමින් පවත්වා ගෙන යන ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ 120 බස් මාර්ගයේ සේවය කළ බව ය.

නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ තාත්තා අහිමි, අම්මා හැර ගිය සහ සහෝදර සහෝදරියන් අහිමි වූ එම නව යොවුන් තරුණයා කිසියම් පිරිසක් විසින් ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරවා ගැනීමට යොදා ගෙන සිටින බවයි. මේ අතර, තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි අනුර සේනානායක නියෝජ්‍ය පොලිස්පති 2017 මාර්තු 16 වෙනි දින අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් “සැබෑ මිනීමරුවා” අත්තඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබිණි.

තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නයි අනුර සේනානායක ඉල්ලයි (2017 මාර්තු 16 ලංකාදීප)

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නාරහේන්පිට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට  මහේස්ත්‍රාත්වරයා අමතමින්  විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට  ගන්නා ලෙස තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  බල කර සිටින බවයි.

දෙවැනි සැකකරු වන අනුර සේනානායක මහතා මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා අද (16) නියෝග කළේය.

හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි අධිකරණය තුළ තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේය.

තාජුඩීන් ඝාතන සිද්ධියේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුව කල් යයි (2023 ඔක්තෝබර් 23 ලංකා ටෘත්)

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සහ එහි පරීක්ෂණ වෙනතක යොමු කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව ගොනුකර ඇති නඩුව නොවැම්බර් මස 7 වැනිදා දක්වා යළි කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(23) නියෝග කර තිබේ.

සිද්ධියට අදාල නඩුව අද කැඳවා තිබූ අවස්ථාවේ විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඔහු බරපතල රෝගී තත්වයකින් පසුවන බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකිව ඇති බවය.

මේ අනුව නඩුව නොවැම්බර් 7 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

2012 මැයි මස 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේදී ඝාතනය කළ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනුකූලව දඬුවමෙන් ආරක්‍ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයු බවට සහ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්‍ෂා කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

Facebook
Twitter
LinkedIn