පාසල් ක්‍රීඩා ප්‍රවර්ධනයට විශේෂ සාකච්ඡාවක්

පාසල් ක්‍රීඩා ප්‍රවර්ධනයට විශේෂ සාකච්ඡාවක්

පාසල් ක්‍රීඩා සමබන්ධයෙන් පවතින වත්මන් ගැටලු නිරාකරණය කර පාසල් ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීහූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සමඟ අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙහිදී පාසල් ක්‍රීඩා සම්බන්ධයෙන් පවතින ගැටලු විසදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශවයේම අවධානය යොමු වූ අතර ක්‍රීඩා සංගම්වල පවතින බලපත්‍ර ගැටලු, ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ගැටලු අවම කිරීම මෙන්ම ක්‍රීඩා පාසල් දියුණු කිරීම යන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා සිදු විය. සෑම සිසුවෙකුටම ක්‍රීඩාවලට සහභාගී විය හැකි පරිදි සමාන අවස්ථා සැලසීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කර ඇත.

පවත්නා තරගකාරීත්වයෙන් බැහැරව සිසුන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය මුල් කරගත් ක්‍රීඩා සංස්කෘතියක් පාසල් තුළ ඇති කිරිමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා සිදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය නිරන්තරයෙන් රැස්වී කටයුතු කිරීමේ අවශ්‍යතාව පේනවා දී ඇත. එමෙන්ම ක්‍රීඩා තරග සඳහා අයදුම් කිරීමේ දී පරිගණක දත්ත පද්ධතියක් හරහා අයදුම් කිරීමට කටයුතු සම්පාදනය කිරීමටද මෙහි දී අවධානය යොමු වී තිබේ.

ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමති සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා සහ තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විෂය සමගාමී) උදාරා දික්කුඹුර සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක ඇතුළු නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

Facebook
Twitter
LinkedIn