හිටපු ඛනිජතෙල් ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 06 දෙනෙකුට විවෘත අධිකරණය හමුවේ අද (21) අධිචෝදනා භාරදී තිබේ.
එන් පසු ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව, එම විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබේ.
වසර 2014 දෙසැම්බර් 26 සහ වසර 2015 ජනවාරි අතර කාලය තුළ දී, නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින්, ගංවතුර සහනාධාර සඳහා රුපියල් හැට එක් ලක්ෂ හතලිස් හයදහස් එකසිය දහයක (රු. 6,146,110) මුදලක් වැය කරමින්, එම මුදල් සාපරාධී, සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා 05ක් යටතේ හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එවකට සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට චෝදනා එල්ල කර ඇත.
මෙම චූදිතයන් 06 දෙනා අතර හිටපු ඛනිජතෙල් ඇමති අනුර ප්‍රියදර්ශන යාපාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳද සිටින බව වාර්තා වේ.










