ඇමරිකානු ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ඇතුළු සාමාජිකයන් පිරිසක් සහ අගමැති අතර විශේෂ හමුවක් ජුලි 11 වැනි දා පාර්ලිමේන්තුවේ දී පැවැතිවිණි.
මෙම හමුවේදී ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ආචාර්ය ක්‍රිස් එලායස් මහතා සිය පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවත් මෙම විශේෂ හමුව සඳහා පාර්ලිමේන්තුව වෙත ආරාධනා කිරීම පිළිබඳව තමන් සතුටට පත් වන බවත් සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ සහයෝගීව කටයුතු කිරීමට ගේට්ස් පදනම ඉතා කැමැත්තෙන් පසුවන බව පැවසූ ආචාර්ය ක්‍රිස් එලායස්, මෙරට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නව ඩිජිටල් මෙවලම් භාවිතය ආදිය සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳවද කරුණු අනාවරණය කළේය.
එහි දී අගමැති ගේට්ස් පදනම විසින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම වෙනුවෙනුත්, මාතෘ හා ළමා පෝෂණය ප්‍රවර්ධනය කරමින් මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවාගැනීම වෙනුවෙනුත් සුවිශේෂී අවධානයක් යොමු කරමින් සිදුකරන මෙහෙය විශේෂ ඇගයීමට ලක් කළ අතර, ආසියාතික රටවල ඩිජිටල් තාක්ෂණික සංවර්ධනය උදෙසාද පදනම මඟින් ලබා දෙන සහයෝගය පිළිබඳවද සාකච්ඡා කළේ ය.
එමෙන්ම මෙරට පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පූරණය වෙනුවෙන් පාසල් තුළ දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ ක්‍රියාවලිය ඇතුළු රජය විසින් ගෙන යන වැඩසටහන් පිළිබඳව ගේට්ස් පදනම දැනුම්වත් කළ අගමැති, මෙරට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් ගේට්ස් පදනම වෙතින් ලබා දිය හැකි උපරිම සහයෝගය බලාපොරොත්තු වන බවද ප්‍රකශ කළා ය.
අධ්‍යාපනයේ නව ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් ඉගැන්වීම, ඉගෙනීම, තක්සේරු කිරීම සහ අධ්‍යාපන පරිපාලනය සඳහා ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් සහ මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමේ ක්‍රමෝපාංග සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ගොඩනගා ඇති ඩිජිටල් අධ්‍යාපන කාර්යසාධක බළකායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අගමැති විසින් ගේට්ස් පදනමේ සමාජිකයන් දැනුම්වත් කරනු ලැබීය.
එමෙන්ම ඩිජිටල් අධ්‍යාපන කාර්යසාධක බළකාය වෙනුවෙන් මෙන්ම 2026 වසරේ සිට ඇරැඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන්ද ගේට්ස් පදනමේ දායකත්වය සහ සහයෝගය ලබා දීමේ වැදගත්ගමද අගමැති විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
එහි දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ කාර්යසාධක බළකාය වෙනුවෙන් සහයෝගය ලබා ගත හැකි පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ලබා දීමට ගේට්ස් පදනමේ සාමාජිකයන් විසින් අගමැති වෙත පොරොන්දු විය.
මෙම විශේෂ හමුවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, ගේට්ස් පදනමේ ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන්, ගේට්ස් පදනමේ අධ්‍යක්ෂ සහ වැඩසටහන් උපදේශක අර්චනා ව්‍යාස් ඇතුළු ගේට්ස් පදනමේ සාමාජික සාමාජිකයින්ද සම්බන්ධ වූහ.












