ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ තෙල් ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත සමාගම විසින් චීන වරායේ තෙල් ටැංකි අංගනයෙහි හිමිකාරීත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා වන ගිවිසුමකට 2022-01-06 දින අත්සන් තබා ඇත.
එම ගිවිසුමේ විධිවිධාන පරිදි ත්‍රිකුණාමල ඉහළ ටැංකි අංගනයේ ඇති ටැංකි 24ක් ගිවිසුම ආරම්භ වන දිනයේ සිට වසර 50ක කාලයක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත බදු පදනම මත ලැබී ඇති බව සඳහන් වේ.
එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම් වසර 03ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු මූලික ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබ තිබිණි.
එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතින් මේ වනවිට ලබා ගෙන තිබේ.
ඒ අනුව, මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථවේ අරමුදල් මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති ඇමති ඉදිරිපත් කළ යෝජනාව කැබැනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.










