ආර්ථිකය ශීඝ්‍රයෙන් ප්‍රකෘති තත්වයට පත් වීම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට පෙළඹවීමක් වේවි – පීටර් බෲයර්

ආර්ථිකය ශීඝ්‍රයෙන් ප්‍රකෘති තත්වයට පත් වීම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට පෙළඹවීමක් වේවි – පීටර් බෲයර්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශීඝ්‍රයෙන් යළි යථා තත්වයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට විදේශ රැකියා අවස්ථා සොයනවාට වඩා රට තුළ රැඳී සිටීමටත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමටත්, වැඩි පෙළඹවීමක් ඇති කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲයර් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ තුන් වන සමාලෝචනය අවසන් කරනු ලැබීමෙන් පසු අද (04) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲයර් මහතා, සංචිතවල සහ රාජ්‍ය ආදායමෙහි සිදු වූ වර්ධනීය තත්ත්වයන් හුවා දක්වමින් මෙරට ආර්ථිකය ලබා ගෙන ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කළේය.

“විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සංචිත සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. ශ්‍රී ලංකාව දැනටමත් වැඩසටහනේ අරමුණුවලින් අඩක් පමණ සාක්ෂාත් කරගෙන ඇති අතර එය ඉතා ආකර්ෂණීයයි,” ඔහු සඳහන් කළේය.

රටේ පැවති අරාජික තත්ත්වය, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ‍හිඟය, ආර්ථිකය 10%කින් හැකිළීමකට ලක් වූ ආකාරය බෲයර් මහතා මෙහිදී සිහිපත් කළේය. කෙසේ වෙතත්, IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු එම වැඩසටහනේ කාල රාමු හා රැඳී සිටිමින් ආර්ථික ක්‍රියාකාරකම් 40% කින් යළි යථා තත්ත්වයට ‌ගෙන ඒමට සහ ආර්ථික වර්ධන වේගය 5.5% දක්වා අගයකට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය ගත් ප්‍රයත්නය හා කැපවීම ඒ මහතා අගය කළේය.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශීඝ්‍රයෙන් යළි යථා තත්ත්වයට පත් වීම, දරිද්‍රතාවය තුරන් කිරීම ඇතුළු ආර්ථික අරමුණු හා ප්‍රධාන ආර්ථික දර්ශකවලට ධනාත්මක ලෙස බලපානු ඇති බවත් ආර්ථික අවස්ථා යළි ජනනය වන විට, ආදායම් ඉහළ යනු ඇති අතර, ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම වඩාත් ආකර්ෂණීය වනු ඇති බවත් පැවසූ පීටර් බෲයර් මහතා, විදෙස් රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමේදී නව අවස්ථා සොයා ගැනීමට හැකි වනු ඇති බවද පැවසීය.

මේ අනුව, රජය, විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහන හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අඛණ්ඩ සහයෝගය ලබා ගනිමින් ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒමටත් එයින්, මෙරට පුරවැසියන්ට තම මව්බිමට පෙරළා පැමිණීමට නව බලාපොරොත්තුවක් ඇති කිරීමටත් සමත්ව ඇත.

Facebook
Twitter
LinkedIn