වැලිගම පැලෑණ ප්‍රදේශයේ W 15 සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරීපත් කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා උපාලි රණසිංහ වරෙන්තු නිකුත් කර තිබේ.
වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ එම වරෙන්තුව නිකුත් කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරෙන්තු පිටපතද රැගෙන සැකකාර මූලස්ථාන පොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසියට හා නිල නිවසට ගොස් තිබු අතර ඒ වන විටත් ඔහු එම ස්ථානවලින් පිටව ගොස් තිබිණි.
මාතර වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්විය.
එම වෙඩි තැබීමට අදාළව වැඩ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද වරෙන්තු කරුවෙකු වන අතර ඔහුට පොලිස් පති ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබිණි. ඒ ඔහු පොලිස්පති ධුරයට පත්වූ ආකාරය අභියෝගයට ලක්වීම හේතුවෙනි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම්ද සිල්වා ඇතුළු තවත් සැකකරුවන් 06 දෙනෙකුද මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.










