මේ වනවිට සිදු වෙමින් පවතින මහ කන්නයේ අස්වනු නෙළීම අවසන් කළ වහා යල කන්නයේ වගා කටයුතු ආරම්භ කරන බවත් මෙවර යල කන්නයේදී පෙර වසරවලට වඩා වැඩි බිම් ප්‍රමාණයක් වී වගාව සඳහා යොදා ගැනීමට තීරණය කර තිබෙන බවත් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.
ඊට සමගාමීව යල කන්නයේ සම්පූර්ණ වගා කටයුතු අප්‍රේල් මාසය නිමා වීමට පෙර අවසන් කිරීමට ගොවි සංවිධාන නියෝජිතයන් එකඟතාව පළකර තිබෙන බවද නියෝජ්‍ය ඇමති සඳහන් කරයි.
එළැඹෙන යල කන්නයට අදාළ මහවැලි ජල කළමනාකරණ කමිටු රැස්වීම ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න,
“යල කන්නයේදී අතුරු බෝග වගා බිම් ප්‍රමාණය යම් ප්‍රමාණයකට අඩුකර වී වගා කරන භූමි ප්‍රමාණය වැඩි කිරීම තුළින් අයහපත් කාලගුණික තත්වය නිසා මහ කන්නයේදී ලැබෙන අස්වැන්නේ යම් අඩුවීමක් වුවහොත් එයද මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනවා.
මහ කන්නයේ අස්වනු නෙළා අවසන් වූ වහාම යල කන්නය ආරම්භ කිරීමට යෑමේදී බිත්තර වී සපයා ගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බවට ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දුන්නා. එයට පිළියමක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්ව බිත්තර වී අවශ්‍යතාවෙන් 90%ක් සපුරාලීමට තීරණය කර තිබෙනවා.
අතුරු බෝග වගා කරන ගොවි ජනතාවටද පොහොර සහනාධාරය ලබා දීමට තීරණය කර තිබෙනවා. කන්න රැස්වීමේදී ලබාගත් තීන්දු තීරණවලට අනුව ජලය නිසි ලෙස කළමනාකරණය කරගනිමින් වගා කටයුතු කිරීමට ගොවීන් උනන්දු වනු ඇතැයි විශ්වාස කරනවා.
මේ වනවිට මහ කන්නයේ අස්වනු ගොවි ජනතාව විසින් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ලබා දෙමින් සිටිනවා. කන්තලේ වී ගොවීන් පසුගියදා වී කිලෝ 15,000ක් ගබඩාවලට භාරදී තිබෙනවා.
ආණ්ඩුව වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් නොකර රුපියල් 120ක අවම මිලක් ප්‍රකාශයට පත්කර තිබෙන බවත් ඒ අනුව අද ගොවීන්ට වී කිලෝව රුපියල් 130ත් 135ත් වැනි මිලකට විකිණීමට හැකියාව ලැබී තිබෙනවා. ව්‍යාපාරිකයන් කුමන මිලට වී මිලදී ගත්තද ඔවුන්ට සහල් අලෙවි කළ හැක්කේ රජයේ පාලන මිලට යටත්වයි.
කිසිදු ගොවියෙක් වී විකුණා ගැනීමට නොහැකිව පාරට බැස කෑගසන්නේ නෑ. අලෙවි මණ්ඩලය මඟින් මහ කන්නයේදී සහ යල කන්නයේදී මිලට ගන්නා වී සහල් කර වෙළෙඳපොළට නිකුත් කර ඔක්තෝබර් සිට ජනවාරි මැද දක්වා පවතින සහල් හිඟය මඟහැර මිල ඉහළ යෑම පාලනය කරනවා.
රජයේ පාලන මිලට වඩා වැඩියෙන් හාල් අලෙවි කරන ඕනෑම අයකුට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගැනීම සඳහා උපදෙස් ලබාදී තිබෙනවා.” නුවෙන් පැවසීය.










