අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත්, සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කලේ අරණායක, සුනන්ද රඟහලේ 02 දින පැවති කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“දීර්ඝ කාලයක සිට කළ උත්සාහයෙන් අපි නිසි තැනට ඇවිත් තිබෙනවා. දැන් රට නිවැරදි මාවතට ගත යුතුයි. සියළු දෙනාටම සතුටින්, සෞභාග්‍යයෙන් ඉන්න පුලුවන් රටක් හදන්න අපි ආරම්භ කළා. ඒ සඳහා අවශ්‍ය පරිවර්තනයන් කරන්න, වැරදි නිවැරදි කරන්න අපි කටයුතු කළ යුතුයි. එය ආණ්ඩුවකට පමණක් කරන්න බැහැ. රජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් වගේම පුරවැසියන් වන ඔබත් ඒ වෙනුවෙන් පෙරට ආ යුතුයි. අපේ අරමුණ වෙනුවෙන් අපි සාමූහිකව වැඩ කරන්න අවශ්‍යයි.
2024 මේ රටේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියන්න කාන්තාවන් එක මිටට ආවා. අනාගතයේ ලියැවන රටේ ඉතිහාසය අලුතින් ලියන්නට නම් කාන්තාවන් වන ඔබ නායිකාවන් ලෙස පෙරට ඇවිත් කටයුතු කරන්න ඕන.
රජය ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහන පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙමෙයි අරමුණු වෙලා තිබෙන්නේ. අපි හිතන විදිහ, අපි ක්‍රියා කරන විදිහත් පිරිසිදු වෙන්න, වෙනස් වෙන්න අවශ්‍යයි. අධ්‍යාත්මිකවත්, ආකල්ප වශයෙනුත් අපි වෙනස් විය යුතුයි.
ඔබ වෙනස් වෙලා ඔබේ නිවස, ගම, රාජකාරි ස්ථානය ඉදලා වෙනස් වෙන්න අවශ්‍යයි. රට පරිවර්තනීය වෙනසකට පත්කරන්න යන ගමනේ ඔබ ඉතා වැදගත්.
අද පාර්ලිමේන්තුවේ අපි දකිනවා. විපක්ෂය අපිට වඩා මාක්ස්වාදීන් වෙලා, අපිට වඩා ලෙනින් කියවලා වගේ කටයුතු කරන්නේ.
මෙවර අය වැය අපි ඉදිරිපත් කළේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මූළික කරගෙන සියළු දෙනාට ප්‍රතිලාභ හිමිවන ආකාරයට. රාජ්‍ය, පෞද්ගලික අංශ වගේම සමුපකාරය, පුරවැසියන් සියළු දෙනා ආර්ථික කළමනාකරණයට සම්බන්ධ විය යුතුයි. රාජ්‍ය සේවයේ මුළික වැටුප් වසර ගණනකින් වැඩිවෙලා නැහැ නමුත් අපි මෙවර අයවැයෙන් ඒක කරන්න කටයුතු කළා. රාජ්‍ය සේවකයින් පෙරළා තම සේවය නිසිපරිදි ජනතාවට ලබා දිය යුතුයි. රාජ්‍ය සේවය ආකර්ෂණිය සේවයක් බවට පත්විය යුතුයි.
ගුරු, විදුහල්පති වැටුප දැනට ලංකාවේ තිබෙන ඉහළ වැටුප් ශ්‍රේණි අතරට ගෙනත් තිබෙනවා. අධ්‍යාපනය නගා සිටුවන්න නම් හොද අධ්‍යාපනයක් දරුවන්ට ලැබෙන්න නම් ගුරුවරුන් දැනුමෙන් වගේම ආධ්‍යාත්මාකවත් ශක්තිමත් විය යුතුයි. මේ සියල්ල අපි කරන්නේ ජනතා සේවාව ලබා දෙන ආයතන තුළ ගුණාත්මකභාවය වැඩි කරන්න.
දේශපාලන හිතවත්කම් නැතුව කිසි දෙයක් කරගන්න බැරි යුගය අපි අවසන් කළා. අද දේශපාලකයින්ගෙන් රජ්‍ය නිලධාරීන්ට දුරකථන ඇමතුම් එන්නේ නැහැ.
රජය කාන්තාවන් ආර්ථිකයට සම්බන්ධ කරන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් තිබෙන බාධක අපි ක්‍රමයෙන් අඩු කරමින් යනවා. රටතුළ කාන්තාවන්ට සුරක්ෂිත සමාජයක් බිහි කරන්න අපි කටයුතු කරනවා. නිවස තුල කාන්තාවන් දරණ වගකීම් නිසි පරිදි කළමනාකරණය කරගනිමින් ආර්ථිකයට දායක වීමට අවශ්‍ය නිදහස ඔවුන්ට හිමි විය යුතුයි. ඒ වෙනුවෙන්, පෙර පාසැල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, සෞඛ්‍ය සේවය අපි සංවර්ධනය කරනවා.
කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ට තාක්ෂණික පුහුණුව, නවීන දැනුම ඉක්මනින් ලබාගැනීමට අවස්ථා නිර්මාණය විය යුතුයි. ඒ මගින් ග්‍රාමීය ආර්ථිකය ශකතිමත් කරන්න අපි සැලසුම් කරමින් යනවා.
රට වෙනස් කරන්න නමි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියලා රජය විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් 2026 සිට නව ප්‍රතිසංස්කරණ ගෙන එන්න කටයුතු කරමින් යනවා. ඒ සදහා අවශ්‍ය ගුරු පුහුණුව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.” යැයි පවසා තිබේ.
මහා සංඝරත්නය, පරිසර ඇමති ධම්මික පටබැදි, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර ඇතුළු අරණායක ප්‍රදේශය නියෝජනය කරන ජනතා නියෝජිතයින් හා කාන්තාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි බව අගමැති මාධ්‍ය අංශය පවසයි.













