රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීමටත් දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව දැනුම් දී ඇත.
එහි මූලික පියවරක් ලෙස වන අලින් බහුල ලෙස සැරිසැරීම පිලිබදව වාර්තා වී ඇති ප්‍රදේශයන්හි දී දුම්රිය ධාවන වේගය අවම වන ලෙස එම කලාප සඳහා අඩු වේගසීමාවක් ලබාදී දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ.
එමෙන්ම අදාළ ප්‍රදේශයන්හි වන අලින් සැරිසරන කාලසීමවන්හි දුම්රිය ධාවනය අවම වන ලෙස එම ප්‍රදේශයන් හරහා දුම්රිය ගමන් කිරීමේදී වන අලින් වැඩි වශයෙන් සැරිසරන කාලසීමාවන්ට පෙර සහ එම කාලසීමාවන්ට පසුව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය ආරම්භක වෙලාව සංශෝධනය කිරීමටද මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
ඒ අනුව මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක් ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පූනානි දක්වාද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දිය සිට කන්තලේ දක්වා ප්‍රදේශයද ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන් සංශෝධනය සිදුකර තිබේ.
එය 2025 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
තවද මීට සමගාමීව එදින සිට කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන “මීනගයා” නගරාන්තර රාත්‍රී තැපැල් දුම්රිය සඳහා S-13 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනයට යෙදවීම සඳහාද සැලසුම් කර ඇත.
ලබන 07 වනදා සිට ඉදිරි දිනයන් සඳහා කලින් ආසන වෙන්කිරීම් සිදුකරන ලද මගීන් හට නියමිත පරිදි කල්වේලා ඇතිව අදාළ දුම්රියන් සඳහා පැමිණීමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දී තිබේ.
මෙලෙස දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීම සහ ඉහත පරිදි වේග සීමා පැනවීම හේතුවෙන් ගමනාන්ත දුම්රිය ස්ථාන වෙත ලඟාවීමෙදී අමතර කාලයක් ගත කිරීමට සිදුවීම සම්බන්ධයෙන් මගී ජනතාව වෙත දුම්රිය දෙපාර්තමේන්තුවේ කණගාටුව පළකර සිටින අතර වන අලින් සුරැකීම ජාතික වගකීමක් ලෙස සලකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව 2025.03.07 දින සිට කාලසටහන සංශෝධිත දුම්රිය ආරම්භක සහ ගමනාන්ත වේලාවන් පහතින් දැක්වේ.










