හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදේශගතවීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ, පසුගිය 2023 දෙසැම්බර් 31වනදා මාතර, වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව 6314/23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් සොයා ඔහුගේ හෝකන්දර නිවස සහ ගිරිඋල්ල නිවස පරික්ෂා කළද ඔහු එම නිවාසවල රැඳී සිට නැත.
මේ වනවිට වාර්තා වන්නේ ඔහු අත්අඩංගුවට ගැනිමේ නියෝගය නිකුත් වීමෙන් පසු සැඟවී ඇති බවය.
මාතර වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්විය. එවකට දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරනු ලැබුවේ වැඩ බලන පොලිස්පති ලෙසය.










