නව රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය, අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කිරීමට තායිලන්ත රජයේ සහාය – ජනපති හමුවේ කියයි

නව රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය, අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කිරීමට තායිලන්ත රජයේ සහාය – ජනපති හමුවේ කියයි

මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී තමාගේ සහ තායිලන්ත රජයේ සුබපැතුම් ශ්‍රී ලංකා ජනාධිපති වෙත පිරිනැමූ තායිලන්ත තානාපති තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජු විසින් එවනු ලැබූ විශේෂ සුබ පැතුම් පණිවිඩයද ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳවද මෙහිදී සිය ප්‍රසාදය පළ කර ඇති තායිලන්ත තානාපති නව රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය සහ අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරලීම සඳහා තායිලන්ත රජයේ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර මෑතකදී අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුමේ (FTA) ප්‍රතිලාභ පිළිබඳවද මෙහිදී කරුණු සඳහන් කළ තායිලන්ත තානාපති එය අන්‍යෝන්‍ය වශයෙන් ආර්ථිකමය වාසි ගෙන දෙන බවද අවධාරණය කර තිබේ. තවද, ශ්‍රී ලංකාව තුළ තායිලන්ත ආයෝජන ඉහළ නැංවීම සඳහා, විශේෂයෙන් දේශීය පලතුරු සහ නිෂ්පාදන සැකසීම සහ අපනයනය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට ඉවහල් වූ විශේෂඥතාව පිළිබඳවද මෙහි දී ජනාධිපති දැනුවත් කළ තායිලන්ත තානාපතිඅ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද කැමැත්ත පල කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ උරුමයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තායි සංචාරකයින්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා තායිලන්තයේ සහාය ලබා දෙන බවද සහතික වී ඇත.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් දෙරට අතර වීසා රහිත සංචාර වැඩි දියුණු කිරීම සඳහාද මෙහිදී දෙපාර්ශවයේම අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරන මෙම හමුවේදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ කැපවීමද අවධාරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn