ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) අද (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම නිමිත්තෙන් තමාගේත්, වියට්නාම රාජ්‍ය නායකයාගේ සහ රජයේ සුබපැතුම්, ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇති තානාපතිනිය දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය සුබවාදී අදහස් පළ කර ඇත.
සෘජු විදේශ ආයෝජන (FDI) සහ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ වියට්නාමය ලබා ඇති ජයග්‍රහණයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇති අතර ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් වියට්නාමයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික බෞද්ධ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති අතර දෙරට අතර සෘජු ගුවන් ගමන් වැඩි දියුණු කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කර ඇත.
වියට්නාම සංචාරකයින්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම තුළින් දෙරටේ ජනතාව අතර සබඳතා පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ නව අවස්ථා පිළිබඳ සොයා බලන බවටද තානාපතිවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සහතික වී තිබේ.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් දෙරටේම කැපවීම පිළිබඳව මෙම හමුවේදි වැඩිදුරටත් අවධාරණය කෙරී ඇත.













