සංවර්ධන හා වෙළඳ කටයුතු සඳහා ජර්මනියේ සහාය… ජර්මානු තානාපති ජනපති හමුවේ තහවුරු කරයි…

සංවර්ධන හා වෙළඳ කටයුතු සඳහා ජර්මනියේ සහාය… ජර්මානු තානාපති ජනපති හමුවේ තහවුරු කරයි…

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කර ඇති ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz)ගේ සුබ පැතුම්ද ජනාධිපති වෙත පිරිනමා ඇත.

ස්ථිර පාර්ශවකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජර්මනිය කැපවී සිටින බව තානාපති ෆෙලික්ස් නියුමන් මෙම හමුවේදී ප්‍රකාශ කර තිබේ.

ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවද අන්‍යෝන්‍ය අවශ්‍යතා පදනම් කොට ගනිමින් එම සහයෝගීතාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා තමන් විසින් නියෝජනය කෙරෙන ජර්මනිය දක්වන උනන්දුව පිළිබඳවද මෙම හමුවේ දී තානාපති නියුමාන් විසින් විශේෂයෙන් අවධාරණය කර ඇත.

මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ජර්මනියේ වසර 70ක පළපුරුද්ද පිළිබඳව අවධාරණය කර ඇති එරට තානාපති ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සිය සහය ලබා දෙන බවටද සහතික වී තිබේ.

තවද, ශ්‍රී ලාංකේය තාක්‍ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන කටුබැද්ද සහ කිලිනොච්චි ජර්මානු කාර්මික විද්‍යාල දෙකෙහි මෙහෙයුම් තව දුරටත් වැඩිදියුණු කිරීම සඳහා ජර්මානු සහාය ලබා දෙන බවද ඔහු සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සහයෝගය ලබා දීමට ජර්මනිය සූදානම් බවද තානාපති ෆෙලික්ස් නියුමන් වැඩිදුරටත් පවසා තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව අනුව ශ්‍රී ලංකාව සඳහා අගනා අවස්ථාවක් ලබා ගත හැකි ඉන්දීය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නියෝජනය කිරීම සඳහා උනන්දු වන ලෙසද තානාපති නියුමන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක දිරිමත් කරමින් සඳහන් කර ඇත.

මීට අමතරව, තානාපති නියුමන් විසින් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර වෙළෙඳ සබඳතා පිළිබඳ තව දුරටත් අවධානය යොමු කරනු ලැබූ අතර එම අවස්ථා සොයා ගනිමින් ජර්මානු ශ්‍රම වෙළඳපොළ වෙත පිවිසීම සඳහා උත්සාහ කරන ලෙසද ශ්‍රී ලංකාවට ඇරයුම් කරන තිබේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා ජර්මනියේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව අවධාරණය කර ඇති තානාපති ෆෙලික්ස් නියුමන් දෙරට අතර ඇති ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා මෙහිදී තවදුරටත් තහවුරු කර ඇත.

Facebook
Twitter
LinkedIn