ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් සඳහා සහාය ස්විට්සර්ලන්තයේ සහාය… තානාපතිනිය ජනපති හමුවේ සඳහන් කරයි

ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් සඳහා සහාය ස්විට්සර්ලන්තයේ සහාය… තානාපතිනිය ජනපති හමුවේ සඳහන් කරයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) අද (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබේ.

ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය සුබ පැතුම් එක් කළ තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් ස්විට්සර්ලන්ත රජයේ සහ ජනතාවගේ සුබ පැතුම්ද ජනාධිපති වෙත පිරිනමා ඇත.

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ වැඩසටහන හරහා ශ්‍රී ලංකාව වෙත සහාය දැක්වීමට ස්විට්සර්ලන්තය කැපවී සිටින බව තහවුරු කළ තානාපතිනිය, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දූෂණයට එරෙහිව දරනු ලබන උත්සාහයන් සඳහා සහාය වීමට ස්විට්සර්ලන්තය සූදානම් බවද අවධාරණය කර තිබේ. සෘජු විදේශ ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳ ස්විට්සර්ලන්තයේ විශේෂඥතාවද ඇය විසින් මෙහි දී අවධාරණය කරනු ලැබ ඇති අතර ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවට එම ක්ෂේත්‍රයන්හි සහය ලබා දිය හැකි බවද ප්‍රකාශ කර ඇත.

එසේම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රම සංක්‍රමණය යන ක්ෂේත්‍රයන් මෙහිදී විශේෂ අවධානයට ලක් ව ඇති අතර එම ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාවේ හැකියාවන් තව දුරටත් වර්ධනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ සහාය ලබා දෙන බවට තානාපතිනි සිරි වෝල්ට් පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සහ පාලන කටයුතුවල ගුණාත්මක බව ප්‍රවර්ධනය කරලීම අරමුණු කොටගත් ස්විට්සර්ලන්තයේ අඛණ්ඩ සහයෝගීතාව මෙහි දී තානාපතිනිය විසින් තව දුරටත් තහවුරු කර ඇත.

Facebook
Twitter
LinkedIn