වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය සහ සමාජීය කඩා වැටීම හමුවේ දරුවන් දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත් වී සිටින අතර පසුගිය 07 වෙනිදා නෙළුම් කුළුන උඩ සිට බිමට පැනීමෙන් දියණියක සියදිවි නසා ගැනීමත් සමග දරුවන්ගේ මානසික තත්වයන් පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවට සමාජයේ දැඩි අවදානයක් යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස දිනමිණ පුවත්පතට පළ කළ අදහස් පහතින්.
දරුවා පීඩාවක සිටීනම් වහාම වෙනස් මගකට යොමු කරන්න
– විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස
මනෝ වෛද්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ඉල්ලුම ඉහළ ගිහින් තියෙනවා.
ඇඟේ අමාරුවක් කියලා රෝහලට එන රෝගීන්ගෙන් 50% කටම තිබෙන්නේ මානසික පීඩනයයි.
ආවේගශීලී පෞරුෂයක් තිබෙන පුද්ගලයෙක් හදිසි තීරණ ගැනීමෙන් භයානක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්
ඔක්තෝබර් මස 10 වැනි දින හෙට ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී ඇත. ශාරීරික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගන්නේ යම් සේ ද මානසික සෞඛ්‍යය ඊට සාපේක්ෂව ඇතැම් විට ඊටත් වඩා ගුණාත්මක ලෙස පවත්වා ගත යුත්තකි. මනස ලෙඩ වීම යනු ශරීරය ද ලෙඩ වීමයි. එසේනම් ශාරීරික සෞඛ්‍යයට පෙරාතුව අවධානය යොමු කළ යුත්තේ මානසික සෞඛ්‍ය දෙසටය. මෙරට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මානසික ගැටලුවලින් පීඩා විඳියි. ළමා සියදිවි නසා ගැනීම්ද දිනෙන් දින ඉහළ යයි. පුද්ගලයකුට මානසික සෞඛ්‍යය කොතරම් වැදගත් ද, මානසික ගැටලු සඳහා විසඳුම් සොයා ගන්නේ කොහොම ද ආදි කරුණු රැසක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා සමඟ සිදු කළ සංවාදයකි.
ළමා සියදිවි නසා ගැනීම් පිළිබඳව මේ දිනවල අසන්නට දකින්නට ලැබෙනවා. ඊට හේතු විදිහට මානසික සෞඛ්‍යය පැත්තෙන් දිය යුතු පිළිතුර කුමක්ද ?
වෙනදාට වඩා දරුවාට වැඩිය තරහා යනවා නම්, වෙනදාට වඩා නින්දේ වෙනසක් තියෙනවා නම්, ආහාර ගැනීම ආහාර රුචියේ වෙනසක් තියෙනවා නම්, වෙනදාට වඩා අධ්‍යාපනයට තියෙන උනන්දුව අවධානය අඩු නම්, වෙනදා හොඳින් ප්‍රසන්නව කතා කරන කෙනෙක් මුහුණ දිහා බලලා කතා කරන්නේ නැත්නම්, වෙනදා සුහදශීලි කෙනෙක් කතා නොකර පැත්තකට වෙලා ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් එයා මානසික පීඩනයක ඉන්නවා වෙන්න පුළුවන් කියලා. දරුවා යම් මානසික පීඩනයක ඉන්නවා කියලා දැනගත්තොත් අපිට කරන්න පුළුවන් පහසුම දේ තමයි ළඟම වෛද්‍යවරයෙකු හමුවට යොමු කරලා අවශ්‍ය උපදෙස් ලබාදීම.
ආර්ථික විෂමතා, කාලගුණික වෙනස්වීම්, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, අධික ජනගහනය, පහසුකම් සීමා සහිත වීම, සම්පත් සීමා වීම නිසා බොහෝ වෙලාවට ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විශාල ආතතියකින් පසු වෙනවා. මේ මනෝ සමාජයීය සහ පාරිසරික වටපිටාව නිසා ඇතිවන පීඩාකාරී හේතු නිසා මානසික සුවය බිඳ වැටී තිබෙනවා. ඒ වගේම කාලයක් තිස්සේ මානසික යහපැවැත්ම ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් නිවැරදි විදිහට වැඩි නොකිරීම නිසා වැඩි වෙලා තිබෙන ඉල්ලුම සම්පූර්ණ කිරීමට අපහසුතාවක් ඇතිවෙලා තියෙනවා. මේ නිසා මනෝ වෛද්‍ය සායන මනෝ වෛද්‍ය සේවයන් ලබා ගැනීම සඳහා ඉල්ලුම ඉහළ ගිහින් තියෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක්කෙනෙකුටත්, සෑම ළමුන් පස්දෙනකුගෙන් එක්කෙනෙකුටත් මානසික ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා ජීවිත කාලයේ යම් මොහොතක මානසික වෛද්‍යවරයෙක් හමුවීමට යා යුතු බවද ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරනවා. ගොඩක් වෙලාවට ආතතිය නැත්නම් මානසික පීඩනය වැඩිවීමේ ලක්ෂණ විදිහට තරහා යෑම වැඩිවීම, රැකියාවට අධ්‍යාපනයට අවධානය ලබා නොදීම, දවල්ට නිදිමත ගතිය ඇතිවීම සහ රාත්‍රියට නිදා ගැනීමේ අපහසුතාවත්, ආහාර රුචිය වැඩිවීම හෝ අඩුවීම අපිට හඳුනා ගන්න පුළුවන්. යම් පුද්ගලයෙක්ට මානසික පීඩනය වැඩි වුණාම ඔහුගේ මාංශ පේශිවල තද ගතියක් ඇති වෙනවා. මේ තද ගතිය නිසා ඔළුවේ කැක්කුම, බෙල්ලෙ කැක්කුම, බඩේ කැක්කුම, කොන්දේ කැක්කුම ඇතිවෙන්න පුළුවන්. මේ තත්ත්වය ඇඟේ ලෙඩක් කියලා හිතලා වෛද්‍යවරුන් හමුවෙන්න එනවා. ඇත්තටම මේ ශාරීරික පීඩාවලට හේතුව මානසික පීඩනය වෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවල ඇඟේ අමාරුවක් කියලා රෝහලට එන රෝගීන්ගෙන් 50% කටම ශාරීරික පීඩාවලට හේතු වී තිබෙන්නේ මානසික පීඩනයයි.
ඒවා වළක්වා ගැනීමට ගත යුතු ප්‍රතිකර්ම මොනවාද ?
ළමයා එකවරම වෛද්‍යවරයෙකු හමුවීමට යන්න අකමැති නම්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පැය 24 පුරා, සතියේ දින හතේම වැඩ කරන 1926 දුරකතන අංකයට ඇමතුමක් ලබාදී ඔබේ ගැටලුවට අවශ්‍ය විසඳුම් ලබාගන්න පුළුවන්.
මේ විදිහට දරුවන්ගේ වෙනස්කම් පිළිබඳව හොඳ අවධානයකින් හිටියොත් වෙන්න තියෙන ලොකු දෙයක් වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විභාග කාලයට ඔවුන්ගේ සම්බන්ධතා බිඳ වැටුණාම, පාසලේ ඉගෙනීම සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්න ඇති වුණාම ඒවා ඉක්මනින් හඳුනගෙන ඒ සඳහා අවශ්‍ය පිළියම් යොදන්න ඕනේ. මවුපියන්ට වගේම පාසලේ ගුරුවරුන්ටත් ඒ වගකීම තිබෙනවා. නමුත් මේ ගැටලුවලට උත්තර හොයන එක කල් දැම්මොත් සමහර විට අපි ආදරය කරන කෙනෙක් අපිට නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ දරුවන්ට වෙනදාට වඩා අවධානයක් ලබා දෙන්න ඕනේ. කුමන හෝ වෙනසක් දුටුවොත් දරුවා සමඟ කතා කරලා ඒ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒ වගේම මෙවැනි සිදුවීම් වාර්තා කිරීමේදී විද්‍යාත්මක පසුබිම හොයලා, විද්‍යාත්මක තොරතුරු සමඟ සීමා සහිතව තොරතුරු වාර්තා කිරීමට මාධ්‍යටත් ලොකු වගකීමක් තියෙනවා.
රටක ජනතාවගේ පුද්ගලික මානසික සුවය එම රටට කොතරම් වැදගත්ද ?
මානසික යහපැවැත්ම නැත්නම් Psychological well-being මත යම්කිසි පුද්ගලයකුගේ කාර්යක්ෂමතාව තීරණය වෙනවා. එම පුද්ගලයාගේ වගකීම්, රැකියාව හා පවුල් පසුබිම අනුව ඔහුට පැවරී තිබෙන කාර්යභාරය අවසන් කරන්න නම්, ඉටු කරන්න නම් යම් කාර්යක්ෂමතාවක් තිබිය යුතුයි. කාර්යක්ෂමතාව සඳහා තීරණ ගැනීමේ හැකියාව, තාර්කික ඥානය, සැලසුම් කිරීම, කාලය කළමනාකරණය කිරීම වැනි සංජානන කුසලතා අවශ්‍ය වෙනවා. සංජානන කුසලතා හොඳින් ක්‍රියාත්මක වීමට නම් ආතතිය අඩු මට්ටමක, දරා ගැනීමේ හැකියාව ඇති මට්ටමක සහ මානසික යහපැවැත්ම හොඳ මට්ටමක තියෙන්න ඕනේ.
හෙට ගෝලීය මානසික සෞඛ්‍ය දිනයයි. මෙය සැමරීමේ අවශ්‍යතාව කුමක්ද ?
මානසික සෞඛ්‍ය කියන එක නැතුව සෞඛ්‍යයක් කියලා එකක් නැහැ. “ There is no health without mental health”. ඒ අනුව අපේ මානසික යහපැවැත්ම හා මානසික සෞඛ්‍යය ඉතාමත් වැදගත් දෙයක්. මේ දෙය අපි හැමදාම හිතේ තියාගන්න ඕනෙ දෙයක් වුණත් අවුරුද්දකට සැරයක්වත් අපිට ඒක මතක් කරන්න ලෝක මානසික සෞඛ්‍ය දිනයක් තිබෙන එක ඉතා හොඳ දෙයක්. අපිට විවිධ වැඩසටහන්, විවිධ ව්‍යාපෘති මඟින් මානසික සෞඛ්‍යය ගැන අවධානයක් ලබා නොදෙන අයට ඒ ගැන මතක් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා.
මානසික සුවය බිඳවැටීම ඒ ඒ පුද්ගලයන්ට බලපාන්නේ කොහොමද?
ගොඩක් අවස්ථාවල බලපාන්නේම පුද්ගලයාගේ චරිත ලක්ෂණ සහ පෞරුෂත්ව ගතිගුණ අනුවයි. උදාහරණයක් විදිහට යම්කිසි කෙනෙක් අධිසංවේදී පෞරුෂත්වයක් තියෙන කෙනෙක් නම්, ඒ කියන්නේ පුංචි දේටත් හිත රිදෙන, පොඩි දේටත් ගොඩක් හිතන, අනිත් අය කියන දෙයින් හිතට පීඩාකාරී බව වැඩියි නම්, වටපිටාවේ තිබෙන පාරිසරික සාධක මනෝ සමාජයීය හේතුවලින් එම පුද්ගලයාගේ මානසික පීඩාකාරී තත්ත්වයන් ඇතිවීමේ හැකියාව වැඩියි. ඒ වගේම ආවේගශීලී පෞරුෂයක් තිබෙන පුද්ගලයෙක් ඉන්නවනම් ඉක්මනට තරහා යන, හදිසි තීරණ ගන්න, කල්පනා කරන්නේ නැති අයෙක්ට සුළු පීඩාකාරී තත්ත්වයක් ඇති වුණත් එම පීඩාකාරී තත්ත්වය නිසා හදිසි තීරණ ගැනීමෙන් භයානක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. මේ ආකාරයට මෙය බොහෝ අවස්ථාවල බලපාන්නේ චරිත ලක්ෂණ හා පෞරුෂත්ව ලක්ෂණ අනුවයි. පුංචි කාලයේ සිටම තමන්ගේ චරිත ලක්ෂණ සහ පෞරුෂත්ව ලක්ෂණ ගැන අවබෝධයක් ලබා නොමැතිවීම මේ තත්ත්වය තවත් තීව්‍ර කරනවා. පුංචි කාලේ සුළු සුළු අපහසුතා මානසික යහපැවැත්මේ ගැටලු තිබුණාම ඒ සඳහා අවශ්‍ය උපදෙස් නොගැනීමත් මෙයට හේතු වෙනවා.
වර්තමානයේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන විභාග රටාව තුළ දරුවන් විවිධ මානසික පීඩා විඳිනවා. එම පීඩාවලින් දරුවා මුදා ගැනීමට මවුපියන්ට තිබෙන වගකීම මොන වගේද ?
යම්කිසි දරුවෙක් අධ්‍යාපනය නිසා පීඩාවට පත්වීම තීරණය වෙන්නේ බොහෝ වෙලාවට දරුවා තුළ තිබෙන සංජානන බුද්ධිය, පෞරුෂත්ව ලක්ෂණ සහ අධ්‍යාපනික ඌනතා තිබෙනවාද නැද්ද යන්න මතයි. සාමාන්‍යයෙන් ඉහළ සංජානන බුද්ධියක් තිබෙන, හොඳ පෞරුෂත්ව ලක්ෂණ තිබෙන දරුවකු පහසුවෙන් අධ්‍යාපනය තුළ ලොකු පීඩනයකට ලක් වෙන්නේ නැහැ. යම්කිසි ළමයෙක් නිතරම පීඩනයට ලක් වෙනවා නම් ඒ දරුවාට අවශ්‍ය විදිහට අධ්‍යාපනය ක්‍රමය වෙනස් විය යුතුද, හැම ළමයෙකුටම උගන්වනවා වගේ නැතුව විශේෂිත ඉගැන්වීම් ක්‍රමවලට ඒ දරුවාට උගන්වන්න ඕනෙද, නැත්නම් මෙම දරුවාට හොඳ බුද්ධි මට්ටමක් තිබිලා අධ්‍යාපන කටයුතුවලට අඩු අවධානයක් දෙන තත්ත්වයක් තිබෙනවාද, ඒ කියන්නේ පහසුවෙන් දේවල් තේරුම් කරන්න පුළුවන් නමුත් ඉවසීම අඩුයි, එක තැනක ඉන්න බෑ, එක තැනක ඉඳලා වැඩක් ඉවර වෙනකල් කරන්න බෑ, පිළිවෙළ අඩුයි වගේ දේවල් තියෙනවද කියලා අපි හොයලා බලන්න ඕනේ. මේ වගේ වෙනස්කම් තියෙනවනම් ඒ සඳහා අවශ්‍ය උපදෙසක් වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගැනීමෙන් දරුවාට අනවශ්‍ය පීඩනයත් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. යම්කිසි දරුවෙක් මේ වගේ අපහසුතා නැතුවත් පීඩනයට ලක්වෙනවා නම් බොහෝ වෙලාවට පාසලෙන් පැවරෙන වැඩ ප්‍රමාණයේ අධිකභාවය නිසා එම දරුවා පීඩනයට ලක් වෙනවා වෙන්න පුළුවන්. එවැනි දරුවන් පිළිබඳව පාසලේ ගුරුවරුන් සහ මවුපියන් කතාබහ කරලා සාධනීයව වෙනස් කරන්න ඕනෙ දෙයක්. නමුත් ප්‍රායෝගිකව මෙවැනි පීඩාකාරී තත්ත්වයන්ට දරුවන් පත්වන්නේ දරුවා තුළ තිබෙන විශේෂ අවශ්‍යතා තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. ඒ පිළිබඳ සැලකිලිමත් වීම වඩා වැදගත්.
වර්තමානයේ මානසික ගැටලු විසඳා ගැනීම සඳහා උපදේශන ක්‍රියාත්මක වෙනවා. මේවා තෝරා බේරා ගන්නේ කොහොමද?
ඔබ මුලින්ම කරන්න ඕනේ ළඟම රජයේ රෝහලේ ඉන්න MBBS උපාධියක් තියෙන වෛද්‍යවරයෙක් හමුවීමයි. එම වෛද්‍යවරයාට පුළුවන් ඔබට අවශ්‍ය උපදෙස් ලබා දීලා ඔබ හරි තැනට යොමු කරන්න. ඔබ අවුරුදු 20ට අඩු කෙනෙක් නම් ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඔබව යොමු කරනවා. ඔබ අවුරුදු 65ට වැඩි කෙනෙක් නම් වැඩිහිටි මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම සිදු කරනවා. නැතිනම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පැය 24 පුරා, සතියේ දින හතේම වැඩ කරන 1926 දුරකතන අංකයට ඇමතුමක් ලබාදී ඔබේ ගැටලුවට අවශ්‍ය විසඳුම් ලබාගන්න පුළුවන්.
රුවන් පුෂ්ප කුමාර (සන්නිවේදන හා මාධ්‍ය ඒකකය – කැලණිය විශ්වවිද්‍යාලය) දිනමිණ










