ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක් කර ඇති ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳවද සිය ප්‍රසාදය පළ කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති බයිඩන් සිය සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේ සඳහන් කර තිබේ. “මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා ජනතාව තුළ වන කැපවීම ඉස්මතු කෙරේ.”
සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කර දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කමද ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කර දීම සඳහා දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉස්මතු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ජනාධිපති බයිඩන් මහතා විසින් සුභවාදී අදහස් පළ කරන තිබේ.
ආර්ථික වර්ධනය, කලාපීය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ස්ථාවර, සෞභාග්‍යවත් සහ වඩා සාධාරණ රටක් පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යොමු කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම පණිවිඩය ඇමෙරිකානු ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ලබන අතර, කලාපයට ප්‍රතිලාභ ගෙන දෙන සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන මුලපිරීම් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරට තුළම ඇති සූදානමද පෙන්නුම් කර තිබේ.










