ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය

ෙශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටත් ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර තිබේ.

ඒ බව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ සුබ පැතුම් පණිවිඩයද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් විසින් ජනාධිපති ලේකම් වෙත මෙහිදී පිළිගන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බවද මෙහිදී ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කර ඇත.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද ඇමරිකානු එක්සත් ජනපදය සහතික වී තිබේ.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් එක්සත් ජනපදය මෙහිදී එකඟාව පළ කර ඇත.

පුනර්ජනනීය බල ශක්තිය, අපනයන කෘෂි කාර්මාන්තයක් ඇති කිරීම හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවලටද සහයෝගය දක්වන බව ඇමෙරිකානු එක්සත් ජනපදය සඳහන් කර තිබේ.

දැනට ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නාගරික පාසල්වලටද ඉදිරියේදී ලබාදීම සඳහා සහයෝගය දැක්වීමටද කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජස්ටින් ඩිවෙනන්සො (Justin Divenanzo) සහ ආර්ථික විශේෂඥ ක්‍රිස්ටෝපර් ගූච් (Christopher Gooch) යන දෙදෙනාද මෙම අවස්ථාවට එක්ව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්