නීතියට පටහැනි ලෙස රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා ලබා සිටින මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂි වීරවංසට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 28 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ.
මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී එය පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කර තිබිණි.
මෙම නඩුවට සමාන නඩුවක් වෙනත් අධිකරණයකද ගොනුකර තිබූ බැවින් එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරිය නොහැකි බවයි එම මූලික විරෝධතාව තුළින් පෙන්වා දී තිබිණි.
එහෙත් මෙම නඩුව වෙනත් කරුණක් පදනම් කරගෙන ගොනුකර ඇති නිසා එය විභාග කිරීමට අධිකරණයට බලය තිබෙන බව මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණය කරුණු දකවමින් සඳහන් කර ඇත.
ඒ අනුව, අද දින තීරණය ප්‍රකාශයට පත් කළ අධිකරණය, විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර තිබේ.
එම නඩුව ජනවාරි මස 28 වැනිදා විභාගයට ගැනීමට නියෝග කළ අධිකරණය, එදින සාක්ෂිකරුවන්ට අධිකරණය පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියම කර ඇත.
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංසට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබිණි.










