මැතිවරණ කොමිෂන් සභාව තමන්ගේ බලතල අනුව ක්‍ෂණික ක්‍රියාමාර්ග ගත යුතු යැයි ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂක මධ්‍යස්ථානයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ.එම්.කේ මාර්ක් ගුණවර්ධන අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (14) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂක මධ්‍යස්ථානයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ.එම්.කේ මාර්ක් ගුණවර්ධන,
“අද සිට ජනාධිපතිවරණයට තිබෙන්නේ තව හරියටම දින හතක් පමණයි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙනවා. එම වගකීම ප්‍රායෝගිකව ඉටු කිරීමේදී පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවා උපකාරී වෙනවා. මේ ආකාරයෙන් පවත්වනු ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අනුර කුමාර දිසානායක සහෝදරයාගේ විජයග්‍රහණය රටේ සියලුම ප්‍රදේශවලින් තහවුරු වී තිබෙනවා. අපි මෙතෙක් ඉදිරිපත් කර තිබෙන පැමිිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් කිසිම සාධාරණත්වයක් ඉටු වුණේ නැහැ. 2024 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේ සාදයක් පැවැත්වූවා. මේකත් මහජන මතය වෙනස් කිරීමට සංග්‍රහ කිරීමක් හැටියට පවතිනවා. ඒ වාගේම සෞඛ්‍ය ඇමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන් හට ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේ රැස්වීමක් පවත්වන්න ඇරැයුම් කර තිබුණා. එය පවත්වා තිබුණා. කිසිම චකිතයක්, බියක් නැතිව ජනාධිපතිවරයාගේ නිල ‘ෆේස්බුක් ගිණුමේ’ මෙය සජීවීව විසුරුවා හැර තිබුණා. ඔවුන් නීති කඩමින්, අප වෙතට ඇඟිල්ල දිගු කරනවා.
පසුගිය 13 වැනිදා නිරෝෂන් පාදුක්ක විසින් සම්බන්ධීකරණය කරමින්, ‘සිනමන් ලේක්’ හෝටලයේ භෝජන සංග්‍රහයක් පවත්වා තිබුණා. එහි කෑම පිඟානක වටිනාකම රුපියල් 5500කට වැඩියි. ඒ වාගේම පිළියන්දල ජනාධිපතිවරයාගේ රැස්වීමක් පැවැත්වීමට මීගමුව ඩිපෝවෙන් ලංගම රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ අනෙකුත් පිරිස් යොදා ගනිමින්, නීති විරෝධී ප්‍රවාහන කටයුතු සිදු කර තිබුණා. යමක් සිදු වූ පසුව එම ස්ථානවලට යාමෙන් ඵලක් නැහැ. නමුත්, ඉදිරි කාලය තුළ දී හෝ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිෂන් සභාවට පැවරී තිබෙන බලතල අනුව ක්‍ෂණිකව ක්‍රියාමාර්ග ගනීවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් සැබෑ අර්ථයෙන් ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවස්ථාව සලසා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”











