ස්වාධීන මැතිවරණයක් අබියස බියකරු ප්‍රචාර ගෙන යාම පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – නීතිඥ අකලංක උක්වත්ත

ස්වාධීන මැතිවරණයක් අබියස බියකරු ප්‍රචාර ගෙන යාම පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – නීතිඥ අකලංක උක්වත්ත

ස්වාධීන මැතිවරණයක් අබියස බියකරු ප්‍රචාර ගෙන යාම පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අකලංක උක්වත්ත අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (14) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අකලංක උක්වත්ත,

“ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට ලැබෙන පැමිණිලි ප්‍රාදේශීය සහ කොට්ඨාස සභා මට්ටමින් නිරීක්‍ෂණය කරන්න නිරීක්‍ෂකයන් යොදවා තිබෙනවා. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා කාලය සමස්තයක් ලෙස සලකා බැලුවාම ශීඝ්‍ර වර්ධනයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වල පවතිනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 392ක් වාර්තා වන අතර, නීති විරෝධී ප්‍රචාරණ සම්බන්ධයෙන් 186ක්, නීත්‍යනුකූල මැතිවරණයට බාධා කිරීම් 6ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 30ක්, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් 120ක්, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම් 73ක් සහ රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම් 39ක් වශයෙන් වර්ග වී තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිත කර ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක සහෝදරයා කේන්ද්‍රගත කරමින්, විශාල මඩ ප්‍රචාර දියත් කරමින් තිබෙනවා. ව්‍යාජ සටහන්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යැයි හැඟෙන පරිදි සකස් කළ ව්‍යාජ තොරතුරු සහ ජාතික ජන බලවේගයේ නායකයන් පළ කළ අදහස් විකෘති කොට සංස්කරණය කරමින්, නිෂ්පාදනය කළ වීඩියෝ පට වාගේම ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා නමින් ව්‍යාජව සැකැසූ වෛද්‍ය වාර්තාවක් ආදිය මුදාහැර තිබෙනවා. එම වෛද්‍ය වාර්තාව සත්‍ය බව පෙන්වීම සඳහා ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයක් යටතේ ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතාගේ ව්‍යාජ අත්සන සහිතව සෑදූ කූට ලේඛනයක්ද සකස් කර සමාජගත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට කරුණු යොමු කළා.

මැතිවරණ නීතිය පමණක් නොවෙයි, එයින් එහා ගිය දණ්ඩනීති සංග්‍රහයේ දක්වා තිබෙන කූට ලේඛන සෑදීමේ වරදවල් සිදු කර තිබෙනවා. ව්‍යාජ වෛද්‍ය සටහන මුදාහැරි පසුව ආසිරි රෝහලේ නිල ‘ෆේස්බුක්’ අඩවියෙන් භාෂා තුනෙන්ම නිවේදනයක් නිකුත් කරමින්, අදාළ වෛද්‍ය සටහන ව්‍යාජ එකක් බව පෙන්වා දී තිබුණා. මේ ව්‍යාජ සටහන රූපවාහිනී සංවාදයක දී පෙන්වීමට පවා යොදා ගත්තා. මැතිවරණ කොමිසමට සහ පොලිසියට පැමිණිලි කළත්, ඒවා නැවැත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රයත්නයක් දරන බව පැහැදිලි වෙන්නේ නැහැ. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පමණක් නොවෙයි, ඒ වෙනුවෙන් පසුබිම සැකැසීමත් මැතිවරණ කොමිසමේ වගකීමයි. මැතිවරණ නීතිය පසෙක තැබුවත්, සාමාන්‍ය නීතිය යථා පරිදි ක්‍රියාත්මක වන බවට අපි සද්භාවයෙන් විශ්වාසය තබා සිටිනවා. ‘නව මඟ ජාතික ව්‍යාපාරය’ කියන නමින් සංවිධානයක් අටවා ගත් පුද්ගලයකු එහි ලේකම් හැටියට අනිල් ශාන්ත ප්‍රනාන්දු නමින් පෙනීසිටිමින්, මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. ඔහු 21 වැනිදාට පසු ආගමික ප්‍රචණ්ඩත්වයක් එන බවටත්, ජනතා විමුක්ති පෙරමුණ ආයුධ එකතු කරන බවටත් බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. නැති භීතියක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කරන මොවුන් මැතිවරණ නීතියටත් එහා ගිය සිවිල් සහ සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.) උල්ලංඝනය කිරීමක යෙදී සිටිනවා. ජනතාව අතර ආගමික සහජීවනය නැති කරන්න දරනු ලබන උත්සාහයක්.

මෙම ජාත්‍යන්තර සම්මුතිය අනුව මේ රටේ පනවා තිබෙන නීති කෙතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක කළා ද යන්න පසුගිය වසරවල හොඳින්ම නිරූපණය වුණා. සමාජයේ නීතියට අනුව හැසිරෙන්න දන්නේ නැත්නම්, ඒ පුද්ගලයන්ව නීතියෙන් බැඳලා දාන්න ඕනෑ. තමන්ගේ ඔළුවේ තිබෙන විකාර සමාජගත කර අනෙක් අයගේ මනස විකෘති කරන ආකාරයේ ක්‍රියාමාර්ග ගන්නවා නම්, එය බරපතළ තත්වයක්. සාමකාමී, ස්වාධීන මැතිවරණයක් සඳහා පරිසරය ගොඩනැඟී තිබෙන අවස්ථාවක මෙවැනි පුද්ගලයන් ගෙන යන බියකරු ප්‍රචාර සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වඩාත් සැලකිලිමත් විය යුතුයි.

පසුගිය 07 වැනිදා ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුවට රට පුරාම විසිරී සිටින නීතිඥවරුන් පැමිණි අවස්ථාවේ වතුර බෝතලයක් විතරයි දුන්නේ. නමුත්, එදිනම සවස සමඟි ජන බලවේගයේ නීතිඥ හමුවක් පැවැත්වීමෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහය මධුවිතත් ඇතුළුව පවත්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අපි එය පැවැත්වීමට පෙර පැමිණිලි කළත්, කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. උදය වරුවේ 2,800කට වැඩි පිරිසක් සහභාගී වී අපේ නීතිඥ සමුළුව පැවැත්වුවත්, සවස ඔවුන් එම පරිශ්‍රයේම පැවැත්වූ සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ක්‍රියා කර තිබෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසමට පැවරී තිබෙන බලතල අනුව ජනාධිපති අපේක්‍ෂකවරුන් සියලු දෙනාට සාධාරණ ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මැතිවරණ නීතිය වාගේම දණ්ඩනීති සංග්‍රහයත් උල්ලංඝනය කිරීම පිළිබඳව එම ආයතන දැඩිව ක්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්